1882මාර්තු 24 දින ජර්මන් ජාතික විද්‍යාඥයෙකු වූ රොබට් කොක් විසින් ක්ෂයරෝග කාරක බැක්ටීරියාව සොයාගන්නා ලදී. මෙම බැක්ටීරියාව ආසාධිත රෝගීහු කහින විට, කිවිසුම් පිටකරන විට, කෙළ ගසන විට කෙළ බිඳිතිවල ඇති රෝග කාරක බැක්ටීරියාව පරිසරයට එකතු වේ. හුස්ම ගැනීමේදී එම බැක්ටීරියාව වෙනත් අයෙකුගේ ශරීර ගතවේ. ශරීරයේ ස්වභාවිකව පවතින ප්‍රතිශක්තිය හේතුවෙන් රෝගකාර බැක්ටීරියාව ශරීරගත වුවද රෝගය නොවැළදිය හැකිය. රෝග කාරක බැක්ටීරියාව ශරීරගත වූවන්ගෙන් 10% කට පමණ මෙම රෝගය වැළදේ. නමුත් ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩු කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් දියවැඩියා රෝගීන් මන්දපෝෂණයෙන් පෙළෙන්නන් හා එච්.අයි.වී (ඒඩ්ස් රෝගීන්) ආසාදිත පුද්ගලයින් හට මෙම රෝගය බෝවීමේ අවදානම වැඩිය. සති දෙකකට වඩා පවතින කැස්ස, මද උණ ගතිය, කෑම අරුචිය, ශරීරයේ බර අඩුවීම එනම් අධිකව කෙට්ටු වීම දැකිය හැක.
ක්ෂය රෝගය හඳුනාගැනීම සඳහා බහුලව ම භාවිතා වන්නේ සෙම පටල පරීක්ෂාවයි. මෙහිදී සෙම නිදර්ශකයකින් සාදා ගන්නා සෙම පටලය අන්වීක්ෂයකින් පරීක්ෂා කර රෝග කාරක බැක්ටීරියා හඳුනාගත හැකිය. මෙය ආසන්නම ළය චිකිත්සාගාරයකින් නොමිලේ කර ගත හැකිය. එමෙන්ම ඒ සඳහා වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය නොවේ. රෝගය හඳුනාගත් වහාම නොකඩවා ප්‍රතිකාර ලබා ගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන් සුව කරගත හැකි අතර මාස 06ක් අඛණ්ඩව ප්‍රතිකාර ලබාගත යුතුය. ක්ෂය රෝගය සඳහා සති 2ක් පමණ ඖෂධ ලබා ගැනීමේදී එය බෝවීමේ අවදානම දුරුවේ. ඇතැම් රෝගීන් ඖෂධ ලබා ගැනීම ටික කලකින් නවත්වන අතර ඇතැමුන් කඩින්කඩ ඖෂධ ලබා ගනී. එවිට ප්‍රතිරෝධී ක්ෂය රෝග තත්ත්වය ඇති වේ. එවිට ප්‍රතිරෝධී ක්ෂය රෝග තත්ත්වය සඳහා ප්‍රතාකර ලබාගත යුතු අතර ම ප්‍රතිරෝධී ක්ෂය රෝග තත්ත්වයට ලබාදෙන ඖෂධවල මිල ඉතා අධිකය.
මීට වසර සියයකට පමණ ඉහතදී සොයාගන්නා ලද මෙම මයිකොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් (Mycobacterium tuberculosis)බැක්ටීරියාව වසර 6000කට පමණ පෙර සිට මානවයාගේ පරිණාමයත් සමග දිගින් දිගටම පැමිණියද එය පාලනය කිරීමට හෝ තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුව නොමැත. 2016 වන විට ලෝකය පුරා මිලියන 10.4කට අධික ජනතාවක් මෙම බැක්ටීරියාවට ගොදුරුව තිබෙන නමුත් වාර්ෂිව වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව 4%ක් පමණ අතලොස්සකි. මෙලෙස රෝගීන් වාර්තාවීම මේ තරම් සුළු පිරිසක් බවට පත්ව ඇත්තේ සමාජයේ මෙම රෝගය කෙරෙහි ඇති දුර්මතයන් නිසාය. රෝගීන් කොන් කිරීම වැනි හේතූන් නිසා මෙවැනි රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු වීම අවම මට්ටමක පවතී. නමුත් අතීතයේ පැවතියාක් තරම් මෙම රෝගය පිළිබඳ ව දුර්මතයන් නොවිණිද වාර්තා වීම 100%ක් සම්පූර්ණ වී නොමැති. මේ හේතුව නිසාම මෙම රෝග කාරකය පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවට සිතිය හැකිය. මෙවැනි රෝගීන් කොන් කරනා තරමට අපට අත්වෙන ප්‍රතිඵල භයානක බව අප අමතක නොකළ යුතු ම කරුණක්. එබැවින් අප සිදු කළ යුත්තේ ක්ෂය රෝගීන් කොන් කිරීම නොව ඔවුන් ප්‍රතිකාර සඳහා වැඩි වැඩියෙන් යොමු කිරීමයි.
දැනුවත් වීම හරහා ක්ෂය රෝගය රටින් තුරන් කිරීමට අවස්ථාව උදාවනු ඇත.
එමගින් නුදුරු අනාගතයේ දී සෑම තත්පරයකට වරක් ම ලොව කොතැනක හෝ එක් අයෙක් ක්ෂය රෝග බැක්ටීරියාව ආසාදනය වීම වලක්වා ගත හැකිය.
- දිල්හාරි බණ්ඩාර -