මහනුවර ඇතිවූ කලහකාරී සිද්ධීන් පිළිබඳව 2018.03.10 දින මහනුවර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.
මහනුවර දිස්ත්‍රික්කයේ පසුගියදා ඇති වූ සිද්ධීන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අප පවත්වන මේ රැස්වීමට ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ද සහභාගී වීමට නියමිතව තිබුණා. නමුත් හදිසියේ
එතුමට පැවරූ වැඩකටයුත්තක් නිසා මෙම රැස්වීමට එතුමට සහභාගීවීමට හැකියාවක් නැති බව මා කිව යුතුයි.
අද අපි මේ රැස්වීම කැඳවා තිබෙන්නේ පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධීන්ගෙන් විපතට පත් ජනතාවට හා විනාශයට පත් දේපොළ වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
මෙහිදී අපි ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡාවට භාජනය කළ යුතුයි. විනාශ වූ දේපොළ සඳහා වන්දි තක්සේරු කිරීම, මියගිය අය සඳහා වන්දි මුදලක් ලබාදීම, විනාශ වූ ව්‍යාපාර පුනරුත්ථාපනය කිරීමට වැඩසටහනක් සකස් කිරීම ඇතුළු මේ සම්බන්ධව ඉදිරි පියවරයන් කඩිනම් කළ යුතුයි.
දැනට ලැබී තිබෙන සංඛ්‍යා ලේඛණවලට අනුව මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිදුවීම්වලින් ආගමික සිද්ධස්ථාන, නිවාස, වාහන, ව්‍යාපාරික ස්ථාන ඇතුළු අනෙකුත් ආයතන 465 කට හානි සිදුවී තිබෙනවා. මෙහිදී පූර්ණ හානි 87 ක් ද, අර්ධ හානි 196 යි, සුළු හානි 182 ක් ද සිදුව තිබෙනවා. මේවාහි තක්සේරු කටයුතු ඉතා කඩිනමින් අවසන් කළ යුතුයි.
පසුගියදා අම්පාර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධව ද පොලීසිය මේ වනවිට පරීක්‍ෂණ පවත්වා තිබෙනවා. එමෙන්ම මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව ද පරීක්‍ෂණ පවත්වා තිබෙනවා. මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට අපි පියවර ගත යුතුයි.
මේ සියලූ සිදුවීම් පිළිබඳ සොයාබැලීමේ කටයුතු කොමිෂමකට පමණක් සීමා කරන්නේ නැහැ. කොමිෂමක් හෝ කමිටුවක් පත් කරන්නේ සිදු වූයේ කුමක්දැයි සොයාබැලීම සඳහායි. එහි නිගමනය ප්‍රකාශ කරන තෙක් අපි අපේ වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. මේ සිද්ධිය නිසා රටේ ජන කොටස් අතර තිබෙන සම්බන්ධතාවය එක් අතකින් අඩු වුණා. තවත් පැත්තකින් වසර 30 ක් මේ රටේ යුද්ධයක් කළේ රට එකතු කිරීම සඳහායි. මේ යුද්ධයට මුහුණදී ජීවිත නැති කර ගත් හමුදාව හා අනෙකුත් සියලූ දෙනා සිදු කළ කැපකිරීම්වලට මේ සිද්ධිවලින් පහරක් එල්ලවී තිබෙනවා.
මේ සිද්ධිය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරකට සීමා කිරීමට හැකි වුණා. නමුත් මුළු දිස්ත්‍රික්කයටම ඇදිරිනීතිය පැනවීමට අපට සිදු වුණා. අප එලෙස කළේ මේ සිද්ධිය වෙනත් ප්‍රදේශවලට පැතිරී යෑම වළක්වා ගැනීමටයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් පිට ස්ථාන කිහිපයක සුළු සිද්ධීන් කිහිපයක් සිදු වුණත් එය රට පුරා පැතිරීම අපට වළක්වා ගැනීමට හැකි වුණා.
රටේ ප්‍රශ්න ගැන අප අතර, විවිධ අදහස් තිබුණත් අපි ප්‍රචණ්ඩත්වයට යන්නේ නැහැ. වසර 5 ක යුද්ධයකින් පසු එක මතයක සිටිය නොහැකියි. නමුත් විවිධ අදහස් එකතු කර ගෙන අප ඉදිරියට යා යුතුයි. මේ රටේ හැම ජාතියක්ම හැම ආගමක්ම එකට ජීවත් විය යුතුයි. අකුරන ප්‍රදේශයට මුස්ලිම් ජනතාව ගෙනැවිත් ඔවුන් මේ ප්‍රදේශය ආරක්‍ෂා කිරීම සඳහා මුලින්ම පදිංචි කරවනු ලැබුවේ දෙවන රාජසිංහ රජතුමායි. ඒ වගේම සිංහල ජනතාවත් මහනුවර ප්‍රදේශයේ පදිංචි කෙරෙව්වා. මේ කිසිදු ජනකොටසක් මේ ප්‍රදේශවලට බලෙන් පැමිණ පදිංචි වුණේ නැහැ. මේ ජනකොටස් අතර විවිධ ප්‍රශ්න හා ගැටළු මතුවිය හැකියි. නමුත් ඒවා සාකච්ඡා මාර්ගයෙන් අප විසදා ගත යුතුයි. කිසිවිටකත් ප්‍රචණ්ඩත්වයට යොමු නොවිය යුතුයි.
මෙම සිද්ධිවලින් රටේ කීර්ති නාමයට පහරක් එල්ලවී තිබෙනවා. මේ හානිය අවම කර ගැනීමට තව වසර දෙක තුනක් ගත වේවි. එමෙන්ම සංචාරක ව්‍යාපාරයට ද මේ සිද්ධීන්ගෙන් බලපෑම් එල්ලවී තිබෙනවා. සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් පැමිණෙන්නේ කොළඹටයි. ඒ වගේම මහනුවරටත් ඒ හා සමාන සංචාරකයින් පිරිසක් පැමිණෙන බව කිව යුතුයි. සංචාරකයින්ගේ පැමිණීම මේ වසරේදී වැඩි වනු ඇතැයි අප අපේක්‍ෂා කළත් ඒ බලාපොරොත්තු ඉටුවේ යැයි අපට විශ්වාසයක් තබන්න බැහැ. මේ ප්‍රදේශවලට සංචාරකයින්ගේ පැමිණීම අඩු වුණොත් එය විශාල පිරිසකගේ ජීවනෝපායන්ට බලපෑමක් එල්ල කරනවා. මේ ප්‍රදේශයට සංචාරකයින්ගේ පැමිණීම යළි වැඩි කරගන්නේ කෙසේද කියා අප මේ වනවිට සාකච්ඡා කර තිබෙනවා.
ආණ්ඩුවක් ලෙස අප කැපවී සිටින්නේ රටේ ජාතීන් අතර එකමුතු භාවය ආරක්‍ෂා කරමින් සෑම ආගමකටම කිසිදු හිරිහැරයක් නොමැතිව නිදහසේ ආගම ඇඳහීමේ අයිතිය ලබාදීමටයි. නමුත් වැරැදි කරපු අය සිටිනවා නම්,
නීතිය කඩ කළ අය සිටිනවා නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කළ යුතුයි. මහනුවර ප්‍රදේශයේ ඇති වූ මෙම අවාසනාවන්ත සිද්ධිය සංවිධානාත්මකව සිදු කළ බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු
රැසක් මේ වනවිට පොලීසියට ලැබී තිබෙනවා. මේ ගැන කඩිනමින් පරීක්‍ෂණයක් පවත්වා ඊට අදාළ පියවර ගන්නා ලෙස මා නීතිය හා සාමය පිළිබඳ ඇමැතිතුමාටත්, පොලිස්පතිතුමාටත් දැනුම් දී තිබෙනවා.
මේ සිද්ධියට විශාල පිරිසක් එකතු වුණේ කෙසේ ද කියාත් එහි පිටුපස සිටින්නේ කවුද කියාත් තොරතුරු වහා හෙළි කර ගත යුතුයි. මේ සඳහා පෙළඹවීම් සිදු කළ සමාජ වෙබ් අඩවි පිළිබඳවත් මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ කොට තිබෙනවා. ඒ පිළිබඳව පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුව කොළඹප්‍රදේශයේ ප්‍රධාන විද්‍යාල දෙකක සිසුන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ සිද්ධියේදී ඇතැම් පැවිදි පාර්ශවයේ අය ක්‍රියා කර ආකාරය හා ප්‍රකාශ කළ කරුණු ඒ අයගේ ආගම්වලවත් නැහැ. ඒවා ඒ ආගම්වත් අනුමත කරන්නේ නැහැ. කලහකාරී සිද්ධියේදී දේපොළ විනාශ වුණා සේම නිවාස හා ව්‍යාපාරික ස්ථානවලින් භාණ්ඩ රැසක් අතුරුදහන් වී තිබෙනවා. නමුත් මේවා මහනුවර දිස්ත්‍රික්කයෙන් පිටතට ගොස් නැහැ. මේවා තිබෙන්නේ කුමන ස්ථානවලද කියා ග්‍රාම නිලධාරී මහතුන්ට සහ පොලිසියට පහසුවෙන් සොයා ගත හැකියි.
ඒවගේම පිටස්තර පුද්ගලයින්ට මෙලෙස පැමිණෙන ලෙස දැනුම් දුන්නේ කවුද යන්න ද මේ අනුව සොයාගත හැකියි. මේ සිද්ධීන් පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා ඒ වාර්තා කෙටි කාලයක් තුළ අපට ලබාදිය යුතුයි. නමුත් මේ පියවර ගත්ත ද රටට සිදු වූ හානිය කෙටි කාලයකින් අවම කරගත නොහැකියි. ඒ සඳහා දිගුකාලයක් ගත වනවා. පසුගිය කාලයේ පැවැති නියඟය නිසා කෘෂිකර්ම වර්ධන වේගය ඍණ දෙකක් දක්වා අඩු වුණා. එවැනි අවස්ථාවකදී අප බලාපොරොත්තු වුණේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණුවක් ලබාගැනීමටයි. මේ සිද්ධීන් නිසා අද වන විට ඒ
සම්බන්ධව ද ප්‍රශ්න මතුවී තිබෙනවා. එපමණක් නොවෙයි. අපට ජාත්‍යන්තරයෙනුත් ප්‍රශ්න තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එකතු වී යන ගමනට හානි වුණොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ ගමනට හානි නොවන ලෙස අපි වැඩකළ යුතුයි. ඒනිසා ප්‍රශ්න ඇතිවූ ප්‍රදේශවලට හා ස්ථානවලට අපේ සංඝයා වහන්සේලා සහ පූජක තුමන්ලා සමග ගොස් ජනතාව දැනුම්වත් කළ යුතුයි. ඒ සඳහා දැනටමත් අපේ සංඝයා වහන්සේලා සහ පූජකතුමන්ලා සහයෝගය දක්වා තිබෙනවා. මෙම කලහකාරී සිද්ධීන් ඇති කළ අය පිළිබඳව සොයා බලා වැරැදි කළ අයට දඬුවම් දිය යුතුව තිබෙනවා. ඒ අනුව මා ඉල්ලා සිටින්නේ වැරැදිකළ අයට විරුද්ධව සාක්‍ෂි සොයා ඔවුන් හඳුනා ගන්නා ලෙසයි. ඊට පසු එහි ඉදිරි කටයුතු අධිකරණයට භාර කරමු.
මෙවැනි සිද්ධී නැවැත ලංකාවේ ඇති නොවන්නේ වැරැදි කරුවන්ට දඬුවම් කළොත් පමණයි. දඬුවම් නොකළොත් මෙය වෙනත් තැන්වලටත් යොමු විය හැකියි. ඒ නිසා වැරැදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
එලෙස නීතිය ක්‍රියාත්මක වනවා කියන්නේ නීති කැඩුව අය කවුද කියා සොයාගෙන ඔවුන්ව අධිකරණය ඉදිරියට ගෙන ගොස් දඬුවම් ලබාදීමයි. එමෙන්ම සාමය ඇති කරනවා කියන්නේ අප සියලූ දෙනා එකට එකතු වී මේ ගමන ඉදිරියට යෑමයි. මේ සිද්ධියේදී නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේදී ඇතැම් පොලිස් නිලධාරීන්ගෙන් අඩුපාඩුකම් සිදුවුවත් සමස්ථයක් ලෙස පොලිසියෙන් විශාල සේවාවක් සිදුවූ බව කිව යුතුයි. ඒ ගැන ඔවුන්ට මගේ ස්තූතිය පළ කිරීමට කැමැතියි.
අපේ ත්‍රිවිධ හමුදාව ද ඒ එවැනිම සේවාවක් සිදු කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය සේවකයින්, පළාත් සේවකයින්, පාළාත් පාලන ආයතනවල සේවකයින් සිදු කළ ඒ සේවය අප අගය කළ යුතුයි. තවද සිවිල් ජනතාව මෙන්ම ආගමික
සංවිධානවලට ද, ස්වාමීන් වහන්සේලාට ද, පූජක තුමන්ලාට ද මාගේ ස්තූතිය පළ කර සිටිනවා.
මීට දින තුනකට පමණ පෙර ජනාධිපතිතුමත් මේ ප්‍රදේශයට පැමිණ කරුණු සොයා බලා අදාළ කටයුතු කළ බව සිහිපත් කළ යුතුයි. මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත්මද්දුම බණ්ඩාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය රාවුෆ් හකීම්, තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන, මධ්‍යම පළාත් මහඇමැති සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් හා ආරක්‍ෂක අංශ ප්‍රධානින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගීවී සිටියහ.