නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීම ජනගත කිරීමේ ඉලක්කය ජයගැනීම

    පෙබරවාරි 03, 2018

    2016 අගෝස්තු හතරවැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මතකොට කතානායකවරයාගේ සහතිකය සටහන් කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත් කෙටුම්පත ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2017 පෙබරවාරි 03 දින සිටය. 2018 පෙබරවාරි 03 දිනට පනත් කෙටුම්පත ක්‍රියාත්මක වී වසරක් සැපිරෙයි.

    ගෙවුණු වසරේ ප්‍රගතියත්,ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර මහත්මිය මෙසේ රජයේ නිලපුවත් වෙබ් අඩවිය සමඟ අඳහස් දැක්වූවාය.


    තොරතුරු දැනගැනීම අයිතිවාසිකම් පනත ශ්‍රී ලංකාවේ පනතක් ලෙස 2016 අගෝස්තු මසදී පාර්ලිමේන්තුවේ අනුමත කරනවා. 2017 පෙබරවාරි මස තුන්වැනිදා මෙම පනත සමාජගත වෙනවා. අවුරුද්දක කාලසීමාවක් තුළ අපේ රටේ ක්‍රියාත්මක වන මෙම පනත 1994 සිට පැවැති ක්‍රියාවලියක්. එම අවස්ථාවල පනතේ ක්‍රියාවලිය සාර්ථක නොවුනත් අනෙක් ආසියාතික රටවල් වන, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය වැනි රටවල් ඔවුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිවසිකම් පනත අනුමත කරගෙන සමාජයට ගෙන ගියා.

    නමුත් ආසියානු කලාපයේ ගත් විට ලෝකයේ 113 වැනි රට ලෙස අප තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනුමත කරගන්නේ. වසරක කාලයක් තුළ ශ්‍රී ලංකාව අනෙකුත් රටවල්වලට වඩා තොරතුරු දැනගැනීමේ පනත
    ක්‍රියාත්මක වීමෙන් ඉදිරියෙන් සිටිනවා.

    අපේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ලෝකයේ තුන්වැනි ස්ථානය ගෙන තිබෙනවා. ලෝකයේ බලවත් හා හොඳ පනතක් ලෙස තෙවැනි තැනට පත්ව තිබෙනවා. වෙනත් රටවල් සමඟ සැසදීමේ දී සහ  ආසියාතික රටවල් සමඟ ගත්විට ශ්‍රී ලංකාව අවුරුද්දක කාලසීමාවක් තුළ තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් රාජ්‍ය  අංශයේ සූදානම් වීම ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම ගෙන තිබෙනවා. වෙනත් රාජ්‍ය ආයතන මේ සඳහා සූදානම් කිරීම, පුහුණු කිරීම් කටයුතු  කිරීම,පනත ක්‍රියාත්මක  කිරීමේ දී අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ආදී සියල්ල සිදු කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි.


    තොරතුරු දැනගැනීමේ පනත සාර්ථකව ක්‍රියාත්මකවීමට නම් ඉල්ලුම් අංශය සහ සැපයුම් අංශය යන දෙපැත්තම ශක්තිමත් විය යුතුයි. ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත එළියට එන්නේ සිවිල් සමාජයේ සිවිල් සංවිධාන,
    සමාජයේ ක්‍රියාකාරී විවිධ පුද්ගලයන්, ක්ෂේත්‍රයේ විද්වතුන් මේ සියල්ලගේ සහභගීත්වයෙන්.

    රාජ්‍ය අංශය පනතේ සැපයුම් අංශයයි.තොරතුරු ලබාදීම සඳහා තොරතුරු නිලධාරීන් පත් කරලා, ඔවුන් පුහුණු කරලා,එම ව්‍යුහය රාජ්‍ය ආයතන මට්ටමින් සකස් වෙමින් පවතිනවා. රජ්‍ය යාන්ත්‍රණය මේ සම්බන්ධයෙන් දැනුවත්. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යතුමා, ලේකම්තුමා ඇතුළු සෑමදෙනාගේම ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ, මහජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි. සාමාන්‍යයෙන් මහජනතාවට මේ පනත  පිළිබඳව තිබෙන අවබෝධය තවමත් අඩුයි.

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත මඟින් රටේ විනිවිදභාවය, යහපලනය මූලධර්ම, යන මේ සියල්ල ස්ථාපිත කරන්න නම් මහජනතාවගේ මැදිහත්වීම අත්‍යාවශ්‍යයි. මහජනතාවට අවශ්‍ය තොරතුරු ඉල්ලන්න මහජනතාව දැනුවත් විය යුතුයි.එම අභියෝගය බාරගෙන තිබෙනවා. 2018 වසර සම්පූර්ණයෙන්ම රටේ ජනතාව දැනුවත් කිරීමේ මෙහෙවර සැලසුම් කරමින් සිටිනවා.

    මිලියන විස්සයි දශම හයක් අපේ රටේ සිටිනවා. මෙතැනදි බොහෝ විට සමජය තුළ ක්‍රියාකාරීව වැඩකරන ජනතාවටයි මෙම පනත පිළිබඳව දැනුවත් කිරීම අවශ්‍ය වෙන්නේ. ඒ අතර පාසල් දරුවන්,විශ්වවිද්‍යාල  සිසුන්,අධ්‍යාපන ආයතන,පුහුණු ආයතන දැනුවත් කිරීමට මෙම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ ප්‍රචාරණ යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා.


    ඕනෑම දෙයක් මහජනතාව අතරට ගෙනයාමට මාධ්‍ය දායකත්වය තීරණාත්මකයි. දැනටම අමාත්‍යතුමාගේ සහ ලේකම්තුමාගේ උපදෙස් මත ජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිනවා. රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යයත් මේ සඳහා දායකත්වය ලබාදීම අවශ්‍යයි. නව මාධ්‍ය අද තරුණ පරපුර අතර ජනප්‍රිය වෙලා තිබෙනවා. මේ සඳහා නව මාධ්‍යත් භාවිතා කළ යුතුයි.මේ සඳහා විශාල මාධ්‍ය මෙහෙවරක් ක්‍රියාත්මක කරන්න අමාත්‍යාංශය කටයුතු සකස් කරමින් සිටිනවා.

    මේ වනවිට ලංකාවේ සාමාන්‍ය මහජනතාව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත හරහා බොහෝ ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා.විසඳාගැනීමට නොහැකි වූ ප්‍රශ්න ගණනාවකට විසඳුම් ලැබී තිබෙනවා. මහජනතාව මේ  පනත භාවිතා කරන්නේ කොහොමද?කියන ප්‍රශ්නය තවම තිබෙනවා. රාජ්‍ය ආයතනවල තොරතුරු අයිති  මහජනතාවටයි. මේ පිළිබඳව  මහජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත්.තොරතුරු දැනගැනීමේ අයිතිවසිකම් පනත පිළිබඳව රටේ මහජනතාව  දැනුවත් කිරීමේ වසර ලෙසයි 2018 වසර පිළිගෙන තිබෙන්නේ.ඒ සඳහා අමාත්‍යාංශයේ සම්පූර්ණ ප්‍රයත්නය මේ  වැඩසටහන මඟින් පුළුල්ව මහජනතාව දැනුවත් කිරීමයි.පනත ජනතාව අතරට ගෙන යාමයි. පනත් ක්‍රියාත්මක  කරන්නේ රජයේ නිලධාරින්.

    තොරතුරු දැනගැනීමේ පනත මඟින් මහජනතාව බලාත්මක කිරීමෙන් මහජනතාව ප්‍රතිලාභ ලබනවා. මහජනතාවට බලය ලබාදී තිබෙනවා. රාජ්‍ය නිලධාරින් සියලු දෙනාම සූදානම්, මහජනතාවට මේ තොරතුරු ලබාදෙන්න. අපේ රටේ තොරතුරු දැනගැනීමේ සංස්කෘතිය තුළ එදා තොරතුරු ලබාදීමේ සංස්කෘතියක් තිබුණේ නෑ. මේ තොරතුරුවල සැබෑ අයිතිකරුවන් මහජනතාවයි. සිවිල් සංවිධාන විශාල වශයෙන් තිබෙනවා. රටේ මහජනතාව සවිබල ගැන්වීම සඳහා මෙම සිවිල් සංවිධානවලටත් හැකියි. අප  බලාපොරොත්තු වෙනවා, මේ සියලු දෙනාගේම සහයත් ගෙන රටේ මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳව දැනුවත් කර, පනතේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන්න. ඔවුන් සවිබල ගැන්වීමට කටයුතු කරනවා. ගමට මේ පනත ගෙන යාමයි අපගේ බලාපොරොත්තු වන්නේ.


    සාකච්ඡාව ඇසුරෙන් සකස් කළේ,
    ප්‍රභාත් රත්නායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya