අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ආර්ථිකයට පණදෙන පශු සම්පත

    නොවැම්බර් 10, 2017
    සත්ව පාලනය අපේ මුතුන්මිත්තන්ගේ කාලේ ඉඳල අපේ රටට උරුම වුනු කර්මාන්තයක් . ආහාර සුරක්ෂිතතාවය සදහා වන දායකත්වය මෙන්ම ජීවනෝපාය සැපයෙන මාර්ගයක් වශයෙන්ද  පශු සම්පත් ක්ෂේත්‍රයට  දේශීය ආර්ථිකයෙහි වැදගත් ස්ථානයක් හිමි වේ. මෙහිදී ප්‍රධාන තැනක් හිමි වන්නේ මී ගව හා එළ ගව කර්මාන්තයටයි. මීට අමතරව කුකුළු ,එළු , හා සුකර  පාලනයද ව්‍යාප්තව පවති. දැනට දළ වශයෙන්  පවුල් මිලියනයක් පමණ මෙම සත්ව පාලන ක්ෂේත්‍රයේ නියැලී සිටින අතර මින් බහුතරයක් ග්‍රාමීය ජනතාවයි. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට සත්ව පාලනය මහත් පිටුවහලක් වී ඇති අතර ජනතාවගේ නිරෝගී පැවැත්ම සදහා අත්‍යවශ්‍ය සත්ව ප්‍රෝටීන ලබා දෙන  ප්‍රභවයද  මෙයයි.
     
    වර්තමානයේ  රසයෙන් ගුණයෙන් පිරි නැවුම් එළකිරි පරිභෝජනය සදහා ජනතාව නැඹුරු කරවීම සදහා රජය මැදිහත් වී ක්‍රියා කරනවා.   ඊට හේතුව සත්ව හා ශාක ආහාර අතරින් ශරීරයට අවශ්‍ය පෝෂණය සපයන ආහාරයක් ලෙස කිරි වලට වැදගත් ස්ථානයක් හිමි වීමයි.  කිරි යනු ජලය හා ඝන ද්‍රව්‍ය සම්මිශ්‍රණය වීමෙන් සෑදුනු සංකීර්ණ මිශ්‍රණයකි.  කිරි වල කාබෝහයිඩ්‍රේට ,ලිපිඩ.ප්‍රෝටීන, ඛනිජ ලවණ ,විටමින්, හා එන්සයිම දියවී ඇත.  එමෙන්ම විටමින්  ඒ, බී ,ඩී හා කේ වලින් අනුනය.මවිකිරි දීමෙන් පසු වැඩෙන දරුවන් සදහා ආදේශකයක් ලෙසද ළමයින්ගේ වර්ධනයට හා අමතර ශක්ති  ජනනයට පෝෂ්‍යදායක ආහාරයක් ලෙසද  සැලකේ. එය දියර ගතියෙන් යුක්ත නිසා බාල මහලු රෝගී කාටත් හොද ස්වභාවික පානයක් ලෙස කිරි හැදින්විය හැකිය.  එහෙයින් රජය දියර කිරි ප්‍රචලිත කිරීම මෙන්ම කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සදහාද  සදහා විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
    එළ ගව හා මි ගවයින්ගෙන් 70% ක් පමණ වියලි කලාපයේත් 30% තෙත් කලාපයේත් ව්‍යාප්තව පවතිනවා. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කලාප ගණනාවක් ඇති අතර කදුරට ,මැද රට , පොල් ත්‍රිකෝණය,වියලි කලාපය, යාපනය , හා අන්තර් කලාප ලෙස මේවා  හැදින්විය හැක.
     
    වර්තමානයේ කිරි එළදෙනුන් තුන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ද මී දෙනුන්  අසුදහසකට ඉහළ සංඛාවක් කිරි නිෂ්පාදනයට දායක වී ඇත .  කිරිදියර කිරි පරිභෝජනය සඳහා  යොමු කළ ද ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජන අවශ්‍යතාවයෙන්   සපුරා ලිය හැක්කේ 15% ක් පමණ ප්‍රමාණයක් පමණි.   නව ආර්ථික වර්ධනයත් සමගම වැඩි වන දේශීය ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි  කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම හා වාර්ෂිකව කිරි පිටි ආනයනය සඳහා වැය කරන   රුපියල්  කෝටි 40,000 ක  ප්‍රමාණය අවම කර ගැනීම කාලීන අවශ්‍යතාවයකි. ඒ සදහා දේශීය නිෂ්පාදනයන්හි  ගුණාත්මක බව හා නිෂ්පාදනය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණකි. රටේ  කිරි නිෂ්පාදනයෙන් 85%  ක්   ලැබෙන්නේ සුලු පරිමාණ කිරි ගොවියන්ගෙන් .එහෙයින් මෙම කිරි ගොවීන් මුහුණ දෙන ගැටළු මග හරවා ඔවුන් දිරිමත් කිරීමට ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය සෑම පියවරක්ම ගනු ලබනවා.
     
    කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ කිරි වල ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ වැඩ සටහන  පළාත් සහ  දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කර ඇත.  මේ සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 45 කි.   මෙහිදී කිරි ලීටර 10 ට නොඅඩු දෛනික කිරි නිෂ්පාදනයක් පවතින කිරි ගොවිපළ සදහා 50% රජයේ දායකත්වය යටතේ රුපියල් 60,000 ක උපරිමයකට යටත්ව ආධාර ලබා දෙන අතර උසස් නිෂ්පාදනයක් සදහා අවශ්‍ය මැදිහත් වීමද සිදු කෙරේ.  එනම් උසස් ආරයේ කිරි ගවයෙකු  ලබා දී, ගව ගාලක් ඉදි කිරීම ,ජීව වායු ඒකක ඉදිකිරීම .කිරි දෙවීමේ යන්ත්‍ර ලබා දීම සහ තෘණ සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීම වැනි මැදිහත් වීම් සිදු කෙරේ. දිවයින පුරා කුඩා පරිමාණ කිරි ගොවිපළ 350 ක් සදහා මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභ  ලබා දේ .   
     
    දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය උසස් ආරයේ කිරි දෙනුන් ගේ හිඟකම මගහරවා ගැනීමේ අරමුණ ඇතිව දිවයින පුරා පළාත් මට්ටමින් අභිජනන ගොවිපළවල් පිහිටුවීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලැබේ . මේ සදහා රුපියල් මිලියන 45 ක් වෙන් කර ඇති අතර මේ යටතේ මේ වසර තුළ අභිජනන ගොවිපළ 200 ක් පිහිටුවීමට සැලසුම් කර ඇත . 
     
    කිරි නිෂ්පාදනය ඉහළ නංවන්න රජය ගෙන ඇති තවත් එක් පියවරක් තමයි උසස් ආරයේ කිරි දෙනුන් ආනයනය  කිරීම.  මේ වසරේ මුල් භාගයේ  කිරි දෙනුන් 2000 ක් ඕස්ට්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වා  ඔවුන් ශිත දේශගුණයක් සහිත දිස්ත්‍රික්ක 4 ක  මධ්‍ය පරිමාණ කිරි ගොවීන් සදහා ලබා දුන්නා. ඒ එක් කිරි එළදෙනෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂ 4ක් පමණ වෙනවා. මින් 50% ක් රජය මගින් දරන අතර ඉතිරි 50% කිරි ගොවියන් විසින් දැරිය යුතු වෙනවා.  මේ එක් කිරි එළදෙනෙකුගෙන් කිරි ලීට්ර් 20 ක් පමණ දිනකට ලබා ගන්න පුලුවන්. මෙම් කිරි ගවයින්ට ඔවුන්ට අවශ්‍ය පරිසරය  ආහාර හා බෙහෙත් ආදිය නියමිත වෙලාවට ලබා දීම  අනිවාර්යෙන් කළ යුතු දෙයක් . මේ කිරි දෙනුන්ගේ තෙවන  පරම්පරාවේ පැටවුන් සුළු පරිමාණ කිරි ගොවියන් වෙත ලබා දෙන්න සැලසුම් කරල තියෙනවා.   
     
    තවත් කිරි එළදෙනුන් 3000 ක් දෙසැම්බර් මාසයේ ඹ්ස්ට්‍රෙලියාවෙන් ගෙන්වීමට ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.  රජරට ප්‍රදේශයේ දේශගුණයට ගැලපෙන කිරි ගවයින් පකිස්ථානයෙන් ගෙන්වීමට තීරණය කර ඇති අතර  ඒ අනුව එළහරක් 8000 ක් හා මීහරක් 2000 ක් ගෙන්වීමට නියමිතයි. 
     
    අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාව නවීකරණයක් සමගම  කිරි නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය පී.හැරිසන් මහතා "මුලදී අඹේවෙල  දිනකට   කිරි ලීටර එක්ලක්ෂ විසිදාහක් පමණ තමයි මිලදී SAM 6095000ගන්න පුලුවන් වුනේ. දීගන පොළොන්නරුව සහ කොළඹ කර්මාන්ත ශාලාවලත් ඒ හා සමාන ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් වුණා. දැන් අඹේවෙල ධාරිතාවය දිනකට ලීටර කිරි ලීටර් ලක්ෂ තුනහමාරක් .  දැන් කිරි ගොවියාගේ නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව රාජ්‍ය ආයතනයක් ලෙස අපට තියෙනවා. ඒ නිසා කිරි ගොවියාට කිසිම ප්‍රශ්නයකින් තොරව තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට හැකියාව තිබෙනවා. මහා පරිමාණයෙන් ආයෝජනය කරන්න කැමති කිරි ගොවියන්ට අනාගතය ගැන බිය වන්න ඹ්න කමක් නැහැ." යයිද  පැවසීය .
     
    මිල්කෝ සමාගමට අයත් කොළඹ නාරාහේන්පිට පිහිටි කිරි සැකසුම් කර්මාන්ත ශාලාව බඩල්ගම පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් සිරිංගපාත ගොව්පළෙහි ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය  ඩෙන්මාර්ක් රජයේ සහයෝගීතාව මත ක්‍රියාත්මක වන අතර ව්‍යාපෘතියේ මුල්‍ය වටිනාකම් යුරෝ මිලියන 63.9 කි. ඉදි කෙරෙන නව කර්මාන්ත ශාලාවෙහි දෛනිකව කිරි ලීටර් 400,000 ක් සැකසුම් කිරීමේ හැකියාව පවතීනවා.
     
    ගව පට්ටි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දම්මින්න හා කැබිතිගොල්ලෑව යන ප්‍රෙද්ශවල කිරි ශිත කිරීමේ මධස්ථාන 02 ක් පසුගිය වසරේ ආරම්භ කරන ලද අතර මේ වසරේ කුඩා පරිමාණ කිරි ශීත කිරීමේ මධ්‍යස්ථාන 30 ක් ස්ථාපිත කිරීමට නියමිතය. මේ මගින් ග්‍රාමීය ප්‍රදේශවල ගොවීන්ට කිරි අස්වනු අලෙවි කිරීමේ පහසුකම් තවදුරටත් දියුණු කිරීම අමාත්‍යංශයේ  අපේකෂාවයි. මේ සදහා රුපියල් මිලියන 165 ක් වැය වෙතැයි ගණන් බලා ඇත.  නව ස්වයංපාලිත කිරි ගොවි සමිති 280 ක් ආරම්භ කිරීමට නියමිත අතර ගොවීන් 4000 ක් පමණ මේ නව සමිති වෙත සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ කිරි අස්වනු මිලදී ගෙන ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
     
    ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි නිෂ්පාදනයෙන් 25% ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ මී ගව ගොවිපළ දායකත්වයෙන් වේ . දේශීයව නිදැලි සහ අර්ධ නිදැලි ක්‍රමයට ක්‍රියාත්මක මී ගව ගොවිපළ 28,000 ක් පමණ ඇත . දැනට දේශීයව ඇති දැඩි කරන මී ගව ගහනයෙහි ජානමය වැඩි දියුණු කිරීම සහ අභිජනනයට සුදුසු සතුන් දේශීයව සුළභ කිරීම මගින් දේශීය මී ගව කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇත . මේ යටතේ එක් ප්‍රතිලාභියකු වෙත රුපියල් 80,000 ක උපරිමයකට යටත්ව 50% සහනාධාර මුදලක් මෙම ව්‍යාපෘතිය යටතේ පුං මී ගවයෙකු ලබා දීම වෙනුවෙන් නිකුත් කෙරේ.
    ශ්‍රි ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රෙය්  තවත් වැදගත් ස්ථානයක් හිමිවන්නේ කුකුළු නිෂ්පාදනයන් සදහායි.  කුකුලු ගොවිපළ  සංවර්ධනය කිරීමටද  ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
     
    දිවයින පුරා  පිහිටි සුළු  හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපළ මගින්  පසුගිය වසර තුළ කුකුලු මස් මෙට්‍රික් ටොන් 182690 නිෂ්පාදන කර ඇති අතර  බිත්තර මිලියන 2,304.06 ක් නිෂ්පාදනය කර ඇත. සාමාන්‍යයෙන් වසරකට  එක් පුද්ගලයෙකු කුකුළුමස්  කිලෝ ග්‍රෑම් 8ක්  පරිභෝජනය කරන බව හදුනා ගෙන ඇත.
     
    සාමාන්‍යයෙන්  කුකුළු මස් ග්‍රෑම් 100 ක වතුර ග්‍රෑම් 75 ක් ප්‍රොටීන් ග්‍රෑම් 22.8 හා මේදය ග්‍රෑම් .9 ක් අඩංගු වෙනවා.. බිත්තර ස්වභාවධර්මය මගින් මනා ලෙස ඇසුරුම් කරන ලද සියලුම පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන ආහාරයක් . බිත්තරවල පෝෂණ අගය දෙවෙනි වන්නේ මවිකිරි වලට පමණි.  එහි ජීව විද්‍යාත්මක අගය  93% 7 ක් වන අතර විටමින්  ඒ ,ඩී ඇතුළු  අත්‍යවශ්‍ය  විටමින්  වර්ග ගණනාවකින් ද  පොස්ෆරස් පොටෑසියම් හා යකඩ ඇතුළු ඛනිජ ලවණ රාශියකින්ද බිත්තරය සමන්විත වී ඇත.  බිත්තර ප්‍රෝටීන  ඉතා කාර්යක්ෂම ලෙස ශරීර වර්ධනයට හා පැවැත්මට භාවිතා කළ හැක . බිත්තර අනුභවය තුලින් ප්‍රතිශක්තිකරණය දියුණු කිරීමට ,පිළිකා වැනි රෝග වලින් ආරක්ෂා වීමට ,නිරෝගී දත්,අස්ථි හා සමක් ලබා ගැනීමටද උපකාරී වේ.
    එබැවින් කුකුළු නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කර අපනයන වෙළදපොළ ඉලක්ක කර ගනිමින් කටයුතු කිරීමේ අරමුණින් සුලු හා මධ්‍ය පරිමාණ කුකුලු ගොවිපළ සංවර්ධන වැඩ සටහන ක්‍රියාත්ක කර තිබෙනවා.      
     
    මේ වසර තුළ සුලු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපළ 1330 ක් ස්ථාපනය කිරීමට අපේක්ෂිතය. කුඩා පරිමාණ සත්ව නිෂ්පාදනාගාර 18 ක්  හා කුඩා පරිමාණ මස් සකස් කිරීමේ මධ්‍යස්ථාන 17 ක් ඉදි කිරීමට පියවර ගෙන තිබෙනවා.poultry00
     
    ශ්‍රී ලංකාවේ පශු  සම්පත් ක්ෂේත්‍රයේ තවත් එක් අංගයකි සුකර කර්මාන්තය.   පසුගිය වසර තුළ සුකර මස් මෙට්‍රික් ටොන් 7280 ක් නිෂ්පාදනය කර ඇත. සූකර කර්මාන්තයෙහි ඵලදායීතාවය ඉහළ නැංවීම සදහා ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ආනයනික සුකරයින් රදවා සිටින මාර්ටින් ගොවිපළ වෙත ලාර්ජ් වයිට් වර්ගයේ  හා ලෑන්ඩ් රේස් සතුන් 15 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.  ඒ අනුව අභිජනනය සදහා  එම ආනයනික සතුන්ගෙන් ලබා ගන්නා පැටවුන් ගොවීන් වෙත නිකුත් කිරීම මගින් සතුන්ගේ ආරය උසස් කිරීමට හැකිවනු ඇත. බස්නාහිර ,වයඹ ,සබරගමුව්, මධ්‍යම ,දකුණු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් තුළ දැනට පවතින කුඩා පරිමාණ සුකර ගොවිපළ 70 ක් පරිසර හිතකාමී තත්ත්වය නගා සිටුවීමට අපේක්ෂා කෙරේ.
     
    එළු ගොවිපල යටතේ කුඩා පරිමාණ එළු  පාලනයේ  නියුතු ප්‍රතිලාභීන් ගේ ආර්ථිකය නගා සිටුවීම සහ රට තුළ එළු මස් හා එළු කිරි නිෂ්පාදනය වැඩි කර ජනතාවගේ පෝෂණ මට්ටම වැඩි දියුණු කිරීම වෙනුවෙන් ගොවිපලවල් 330 ක් පිහිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 20 ක මුදලක් වෙන්කර ඇත. 
     
    ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහන යටතේ  ඇරඹි ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතිය නිමිත්තෙන් කිරි ගොවීන් වෙත කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 79 ක් ලබා දී ඇත. 
     
    මෙලෙස පශු සම්පත් ක්ෂේත්‍රය දියුණු කිරීම තුළින් ජනතාගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීමත් රැකියා අවස්ථා ඇති කිරීමත් ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශයේ අපේක්ෂාවයි.
     
    සටහන 
    සී.එම්.අමිතා ප්‍රසන්ති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya