මෙම විහාර හා දේවාලගම් ආඥා පනතට අනුව ශ්‍රී ලංකාවේ පවතින 12, 000කටත් අධික විහාර සහ දේවාලගම්වල දේපල කොටස් දෙකක් යටතේ හඳුනාගත හැකිය. එනම් මෙහි 4 (i) වගන්තිය යටතේ පන්සල් සහ විහාර 254ක දේපල භාරකරුවන් යටතේ පාලනය වන අතර 4 (ii) වගන්තිය යටතේ ඉතිරි සියලු ම විහාර සහ දේවාලගම්වල දේපල පාලක විහාරාධිපති භික්ෂූන් වෙත පැවරේ. මෙහි 4 (i) වගන්තියෙහි සඳහන් භාරකාර තනතුර අදාල විහාරයේ හෝ දේවාලයේ විහාරාධිපති විසින් යෝජනා කරනු ලබයි. අනතුරුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ බලතලවලට යටත්ව එකී භාරකරු නීත්‍යානුකූලව පත්වෙයි. එසේ පත්වනභාරකරු විසින් අදාල විහාර සහ දේවාලයන්හි දේපල පරිපාලනය, ආදායම් වියදම් කළමනාකරණය කිරීම සහ උත්සව කටයුතු සංවිධානය කිරීම ආදී සියලු කටයුතු පාලනය කරයි. මෙම භාරකරු විසින් සිය කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඒ සඳහා ගත යුතු පියවරයන් ද පනතෙහි පැහැදිලිව දක්වා ඇත.
ඒ අනුව 4 (i) වගන්තිය යටතේ පවතින මෙකී සියලු විහාර සහ දේවාලගම්හි ආදායම් මාර්ගයක් වන පඬුරු පෙට්ටිය මඟින් ලැබෙන ආදායම් පිළිබඳ ව එකී භාරකාර තැන විසින් ගිණුම් පවත්වාගෙන යා යුතුය. ඒවායෙහි අයවැය හා ඇස්තමේන්තු වාර්ෂික හෝ අර්ධ වාර්ෂික වශයෙන් සකස් කර බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත එවිය යුතු වන අතර මෙම පඬුරු පෙට්ටිවල ආදායම් ගණනය කිරීම අදාල භාරකරුගේ ලිඛිත ඉල්ලීමකින් පසුව දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත්ව භාරකරු සහ බැංකු නිලධාරින් ඉදිරිපිටදී සිදු කරනු ලබයි. අවසානයේ මෙම සියලු ආදායම් පාරදෘෂ්‍යභාවයකින් යුතුව ගනණය කර අදාල විහාරස්ථානයේ බැංකු ගිණුමකට බැර කිරීම සිදු වේ. පනතෙහි 24 වන වගන්තිය මඟින් මෙම මුදල් බැංකුගත කිරීම පිළිබඳව පැහැදිලිව දක්වා ඇත.
(28) බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් අත්සන් කරන ලද ලියවිල්ලකින් එසේ කරන ලෙස නියම කරනු ලබන සිද්ධස්ථානයක භාරකරුවාට ඒ සිද්ධස්ථානය වෙනුවෙන් ලැබෙන සියලුම ඵල ප්‍රයෝජන, බදු මුදල් ලාභ හා පුද පූජා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හෝ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මැනවැයි පිළිගනු ලබන බැංකුවක හෝ සිද්ධස්ථානයක නමින් තැම්පත් කළ යුතුය.
මෙසේ තැම්පත් කරන මුදල් නිරන්තරයෙන් දෙපාර්තමේන්තුවේ විගනණයට යටත් වන අතර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් අවශ්‍යය අවස්ථාවන්හි අදාල භාරකරුට විහාරයේ හෝ දේවාලයේ කටයුතු සඳහා යොදාගත හැකිය. ශ්‍රී දළඳා මාලිගාව, ශ්‍රීපාදස්ථානය, ඛෙත්තාරාම කන්දේ විහාරය, රුහුණු මහා කතරගම දේවාලය, රත්නපුර සමන් දේවාලය, දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලය, සීනිගම දේවාලය ඇතුලු ඉහත කී විහාර සහ දේවාල 254හිම පඬුරු පෙට්ටි ආදායම් පාලනය වන්නේ එලෙසිනි. මෙම කටයුතු වඩාත් විධිමත්ව සිදු කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන අතර ඉන් ගරුතර භික්ෂූන් වහන්සේලාටද මූල්‍යමය වශයෙන් එල්ල වන යම් යම් චෝදනාවලින් නිදහස් වී කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වේ. අනෙක් අතට මහජනතාවට ද මෙම කටයුතු පිළිබඳව විශ්වාසනීත්වයක් ගොඩනැගීමට මෙම පනතට අනුකූලව ක්‍රියාත්මක වීම මඟින් සිදු වෙයි.
තවද මෙම පනතෙහි වගන්තීන්ට අනුව යම් භික්ෂුවක් සතු වූ පෞද්ගලික දේපල උන් වහන්සේ ජීවතුන් අතර සිටියදී යමෙකු හට පවරා නොතිබූයේනම් ස්වාමීන් වහන්සේගේ සියලුම දේපල සඟ සතු වන බවද දක්වා ඇත. එසේ නොමැතිව කිසිදු හේතුවක් මත ස්වාමීන් වහන්සේගේ අභාවයෙන් පසු උන් වහන්සේගේ පවුලේ අයට හෝ ගෝල භික්ෂූන් වහන්සේලාට හිමි නොවන බවද පැහැදිලිව දක්වා ඇත.
2016 ආරම්භ කළ ව්‍යාපෘතියකට අනුව මෙලෙස භාරකරුවෙකු යටතේ පාලනය වන විහාර සහ දේවාලගම් සතු සියලුම දේපල ලැයිස්තුගත කිරීමක් සිදු වන අතර එම භාණ්ඩ සමීක්ෂණය සහ ඊට අදාල වාර්තා සැකසීම වාර්ෂිකව සිදු කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි. එමඟින් කිසිවෙකුට මෙම දේපල අයථා ලෙස භාවිතයට ගැනීමට හෝ අස්ථානගත කිරීමට ඇති හැකියාව ද අහිමි වේ.