අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට සම්ප්‍රදායික ඥානය හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන වල බුද්ධිමය අයිතිය ලබා ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි

    අප්‍රේල් 26, 2017

    මෙරට සම්ප්‍රදායික ඥානය හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන වල බුද්ධිමය අයිතිය ලබා ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි.

    * අත්දැකීම් බෙදා ගැනීමට ජී-15 රවටල නියෝජිත සමුළුව කොළඹ දී ආරම්භ වෙයි.

    * සම්ප්‍රදායික දැනුම හා ප්‍රකාශන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කර නීතිගත කිරීමට පියවර

    * ජාතික වැඩමුළුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී

     

    ‘‘ අපේ රටේ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ වසර දහස් ගණනක් ඒකරාශී වූ පාරම්පරික දැනුම් සම්භාරයක් ඉතිරිව තිබෙනවා. මේ දැනුම අපි අපේ රටේ සම්පතක් ලෙස රැකගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර අපි අරගනිමින් සිටිනවා. ඒ සඳහා දැන් ජාත්‍යන්තරයේ සහයෝගයත් අපේ රටට ලැබී තිබෙනවා“ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා කියා සිටියේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, (24) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී විවිධ රටවල සම්ප්‍රදායික දැනුම හා සම්ප්‍රදායික ප්‍රකාශයන් පිළිබඳ ජාත්‍යන්තර බුද්ධිමය දේපල අයිතිය පිළිබඳ ජාත්‍යන්තර නීතිය සම්බන්ධ අත්දැකීම් හුවමාරු කරගැනීමේ ජී-15 රටවල නියෝජිතයන් අමතමිනි. එම රටවල නියෝජිතයන් හා ශ්‍රී ලාංකීය නියෝජිතයන් අතර සම්ප්‍රදායික දැනුම හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශයන් ආරක්ෂා කිරීම සම්බන්ධ දැනුම හා අත්දැකීම් හවුමාරු කරගැනීම සඳහා  (24) වැනි දින ආරම්භ වූ මෙම සමුළුව (25) දින ද කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ.

    ජී-15 සාමාජික රටවල් සහ ලෝක බුද්ධිමය දේපල සංවිධානයත් සමග එක්ව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මෙම සමුළුව සංවිධානය කර තිබිණි. අමාත්‍යවරයා මෙහෙදී කියා සිටියේ විදෙස් රටවල සම්ප්‍රදායික දැනුම සම්බන්ධ බුද්ධිමය දේපල අයිතයි ලබා ගැනීමේ අත්දැකීම් හා පළපුරුද්ද සාකච්ඡාවට භාජනය කරමින් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික දැනුම ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය කඩිනමින් සකසා මෙරට සාම්ප්‍රදායික බුද්ධියට හා සංස්කෘතික ප්‍රකාශනයන්ට ජාත්‍යන්තර පිළිගැනීම හා බුද්ධිමය දේපළ අයිතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි.

     

    අමාත්‍ය බදුයිදීන් මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

    ‘‘බුද්ධිමය දේපල කියන දේ අද ජාත්‍යන්තරයේ විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වන දෙයක්. එහි දී ආරක්ෂාව ලැබෙන්නේ යම් ලියවිල්ලක් හෝ නිෂ්පාදනයක් සඳහා පමණයි. නමුත් අපේ රටේ ඉතා විශාල වගේ ම වටිනා පාරම්පරික දැනුමක් හා සම්ප්‍රදායික කලාවන් රැසක් උරුමව තිබෙනවා. මේවා මිල කළ නොහැකියි. විශේෂයෙන් ම දේශීය වෛද්‍ය ක්‍රම, දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය, ඒ වගේ ම ආගම හා සංස්කෘතිය සමග බැඳුණු කලාවන්, ගීත සාහිත්‍යය, කෙම් ක්‍රම වගේ ගොඩක් දේවල් අපේ රටේ පාරම්පරික දැනුම ලෙස තිබෙනවා. නමුත් මේවාට නිශ්චිත හිමිකරුවෙක් නැහැ. උදාහරණක් ලෙස ගත්තොත් දේශීය වෙදකම රැගෙන එන පරම්පරාවක් ඉන්නවා නමුත් මේ දැනුම කොතනින් ද ආවේ. කාගේ නිර්මාණයක් ද කියා කිසිවෙක් දන්නේ නැහැ. ඇතැම් දේවල් පුස්කොල පොත්වල ආරක්ෂිතව තිබෙනවා. නමුත් බොහෝ දේවල් එසේ ලිඛිතව නැහැ.

    මුඛ පරම්පරාවෙන් ආ දැනුමක් සහ ප්‍රායෝගිකව ආරක්ෂාකරගත් දැනුමක් තමයි තිබෙන්නේ. අපි මේ දැනුම හඳුනාගෙන. ඒවා දත්ත පද්ධතියක් බවට පත්කරලා එය අපේ රටේ ජනතාවගේ, ශ්‍රී ලාංකිකයන්ගේ, ශ්‍රී ලංකාවේ දැනුම කියා ජාත්‍යන්තරයට ඉදිරිපත් කරලා එහි බුද්ධිමය අයිතිය තහවුරු කරගැනීමට කටයුතු කරනවා. මෙය විශාල ව්‍යාපෘතියක්. ඒ සඳහා අපට අපේ අමාත්‍යාංශයට සියලුම සහය ලැබෙනවා. “

     

    අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසන්නේ ශ්‍රී ලංකාව ඇතුළු දියුණුවන රටවල සම්ප්‍රදායික ඥානය ඉතා වැදගත් සම්පතක් බවයි. මේ පාරම්පිරික ඥාණය උපයෝගී කරගෙන ඇතැම් දියුණු රටවල් විවිධ නිර්මාණ හා නිෂ්පාදන සිදුකර ඒවායේ අයිතිය ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන එමගින් ආර්ථික වාසි පවා අත්පත් කරගැනීම නිතරම සිදුවන බැවින් මෙහි අපේක්ෂාව වන්නේ මෙරට ජනතාවගේ දැනුමේ අයිතිය තහවුරු කරගැනීම බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

     

    මෙහිදී අදහස් දැක්වූ ජනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා මෙසේ කීවේය.

    ‘‘අපි දන්නවා ශ්‍රී ලංකාවේ ඉතා වැදගත්, වටිනා සම්ප්‍රදායික දැනුමක් තිබෙනවා. ඒ වගේ ම සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශනයන් තිබෙනවා. මෙහි තිබෙන නැටුම්, සංගීත හා අනිකුත් කලා ශිල්ප අපටම ආවේණික ශ්‍රී ලංකාවට ම උරුම වූ දේවල්. ඒ වගේ ම දේශීය වෛද්‍ය විද්‍යාව ඉතා ඉහළ ශිල්පීය දැනුමකින් සන්නද්ධයි. නමුත් ගැටලුව වන්නේ මේ කිසිවක් දැනට පවතින සාමාන්‍ය බුද්ධිමය දේපල නීතිය යටතට ගැනෙන්නේ නැති නිසා ඒවාට ආරක්ෂාවක් නැහැ. ඒවා ආරක්ෂා කරන්න ක්‍රමයක් නැහැ. අපේ පැරැන්නන් විසින් කුඩා කණ්ඩායම් විසින් රැගෙන ආ මේ දැනුම ඕනෑම කෙනෙකුට අයිති කරගත හැකියි. අපිට අත්දැකීම් තිබෙනවා. කොතල හිඹුටු දියවැඩියා රෝගයට ඖෂධයක් බව අපේ පැරැන්න් දැන සිටියා. එය අපේ රටට ආවේණික ශාඛයක්. නමුත් දැන් ඇතැම් ඖෂධ සමාගම් කොතලහිඹුටු සාරයෙන් ඖෂධ නිපදවා එහි අයිතිය තමන් සතු කරගෙන. මෙය වැළැක්වීමට නම් ශ්‍රී ලංකාවේ ඇති සම්ප්‍රදායික දැනුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බුද්ධිමය දේපල අයිතිය ලබාගත යුතුයි. අපි දන්නවා ජී-15 රටවලට මේ සම්බන්ධ අත්දැකීම් තිබෙනවා. මේ අත්දැකීම් බෙදා හදාගන්න අපේ බුද්ධිමය දේපල ආරක්ෂා කරගන්නේ කොහොම ද කියා තීරණවලට එළැඹෙන්න අද අපි මේ සමුළුව ආරම්භ කරනවා. ඉන් පසු ඒ සම්බන්ධ වැඩමුළුවක් ද පැවැත්වෙනවා. “ ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මිනෙලික් ඇලෙමු ගෙතහුම් මහතා ද සමුළුව ඇමතුවේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මෙසේ කීවාය.

    ‘‘ශ්‍රී ලංකාව තුළ ක්ෂේත්‍ර ගණනාවක පාරම්පරික දැනුම විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ජාත්‍යන්තර බුද්ධිමය දේපල නීතියට අනුව මේවා අපිට ආරක්ෂා වන්නේ නැහැ. හොඳම උදාහරණයක් තමයි අපේ තිබෙන දේශීය වෛද්‍ය විද්‍යාව සතු දැනුම ගත්තාම ඒ වගේ ම දැනුමකට දැනටමත් ඉන්දියාව බුද්ධිමය දේපල අයිතිය හිමිකරගෙන. අපි ඉක්මණින් අපි සතුව ඇති දැනුමට අයිතිය ලබාගත යුතුයි. මේ අයිතිය ලැබෙන්නේ එක් පුද්ගලයකුට නොවෙයි. මේ දැනුම එක් එක් කණ්ඩායම් සතුව ඇති නිසා මේ කණ්ඩායම්වලට හෝ රාජ්‍යයක් ලෙස රටට ලබාගත යුතුයි. මේ සඳහා අවශ්‍ය කෙටුම්පත් අපි දැනටමත් සකස් කර අවසන්. ජී-15 රටවල නියෝජිතයන් සමග අපි සමුළුවක් පවත්වා ඒ රටවල අත්දැකීම් ද බෙදාගෙන අපි මේ කාර්යය සාර්ථක කරගන්න අපේක්ෂා කරනවා. ඒ වගේම ජාතික සමුළුව පවත්වා මේ දැනුම ඒකරාශී කරගෙන ඒ සඳහා ජාත්‍යන්තරව පිළිගත් බුද්ධිමය දේපල අයිතිය ලබාගන්න කටයුතු කර තිබෙනවා.“

    දින දෙකක් පුරා පැවැත්වෙන සමුළුව අවසානයේ අප්‍රේල් මස 27 හා 28 දෙදින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සම්ප්‍රදායික දැනුම හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශනයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා වූ ජාතික වැඩමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya