නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තමිල් මිරර් පුවත්පතේ කර්තෘවරයාගේ කතුවැකි එකතුවෙන් රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව-

    මාර්තු 18, 2017

    තමිල් මිරර් පුවත්පතේ කර්තෘවරයාගේ කතුවැකි එකතුවෙන් රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව-

    තමිල් මිරර් පුවත්පතේ කර්තෘවරයා වන මදන් මහතා 2015 සිට තමාගේ කතුවැකි එකතුවෙන් රචිත පොත අද එළිදැක්වුවා. 2015 පෙර මේ කතුවැකි ලිව්වා නම් ඔබ අද ජීවතුන් අතර නැහැ. අප සියලූ දෙනා එක් වී පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරා ගෙන ජනාධිපතිවරයා වශයෙන් පත් කළ නිසා ඔබට මේ ආකාරයට ලියන්නට නිදහස ලැබී තිබෙනවා.

    එදා මහින්ද රාජපක්‍ෂ මහතා ආරක්‍ෂා කළ පිරිස අද රට කැඩෙනවා, රට බෙදෙනවා, සිංහල ජාතිය නැති වෙනවා යැයි පවසන්නේ නිදහස තිබෙන නිසයි. මෙම නිදහස නොතිබුණා නම් ඔවුන්ට ද මෙසේ පැවසීමට හැකියාවක් නැහැ.

    මාධ්‍ය නිදහස ආරක්‍ෂා කිරීමට ගොස් සිංහල මාධ්‍යවේදීන් ඇතුලූ ද්‍රවිඩ මාධ්‍යවේදීන් ගණනාවකගේ ජීවිත එදා නැති වුණා. වැඩියෙන්ම නැති වුණේ ද්‍රවිඩ මාධ්‍යවේදීන්ගේ ජීවිතයි. එදා මාධ්‍යවේදීන්ට විශාල වශයෙන් තර්ජන එල්ල වුණා. ඇතැම් මාධ්‍යවේදීන් රට හැර ගියා. එදා ද්‍රවිඩ මාධ්‍යවේදීන් සටන් කළේ වෙනම රාජ්‍යයක් ඇති කිරීමට නොවෙයි. ඔවුන් සටන් කළේ දෙමළ ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුයි. එම අයිතිවාසිකම් පිළිබඳව සිංහල ජනතාව එකඟ වීමට හෝ නොවීමට පුලූවන්. එමෙන්ම ඔවුන් මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළා. මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ සිංහල, දෙමළ, මුස්ලිම් මාධ්‍යවේදීන් පිළිබදව ද අප සිහිපත් කළ යුතුයි. එම ජීවිත පූජාවෙන් සිදු කළ මෙහෙවර නිසා අද අපට මාධ්‍ය නිදහසක් තිබෙනවා. මෙම ජීවිත පූජාවෙන් නිදහස භුක්ති විදින්නට සමහර දෙමළ ජනතාවට තවමත් අවස්ථාව නැහැ. යාපනයේ සමහර ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් තවම ඔවුන්ට ලැබී නැහැ. සමහර අයගේ රැකියා අහිමි වී තිබෙනවා. එවැනි ප්‍රශ්න ගණනාවක් අද තිබෙනවා.

     

    නමුත් රටේ අනෙක් ප්‍රදේශවල සිංහල හෝ වේවා, දෙමළ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා ජනතාවට අද නිදහස සම්පූර්ණයෙන්ම භුක්ති විදින්නට අවකාශ ලැබී තියෙනවා. ඒ නිසා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි වීම පිළිබඳව ඒ වෙනුවෙන් සටන් කළ සෑම කෙනෙකුටම ස්තඣතිවන්ත විය යුතුයි.

     

    මදන් මහතා බොහෝ කතුවැකි ජනතාව වෙත රැගෙන ගියේ අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් මාර්ගයෙන්. අද දෙමළ දේශපාලනයේ සැලකිය යුතු කොටසක් සිදු වන්නේ ඔන්ලයින් මාර්ගයෙනුයි. මෙය ඉතා වැදගත්. සිංහල හා මුස්ලිම් දේශපාලනය තවමත් වැඩි බර තබා ඇත්තේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ටයි. නමුත් දෙමළ දේශපාලනය ඔන්ලයින් මාර්ගයෙන් ලෝකය පුරා පැතිරෙනවා.

     

    දෙමළ මාධ්‍යවේදීන් මෙලෙස ඝාතනය වූයේ ඇයි? රතුපස්වල සිංහල ජනතාව ඝාතනයට ලක්වූයේ ඇයි? ඒ වගේම අනෙකුත් ස්ථානවල ද ඝාතන සිදු වූයේ ඇයි? තමන්ගේ බලය තහවුරු කර ගැනීමට ගොස් ජාතිවාදය වපුරවා ඝාතන සිදු කළා. සමහරුන් ඒකාධිපතිවාදය අනුගමනය කළා. සමහරුන් පුද්ගලවාදය අනුගමනය කළේ ජාතිවාදය හා ආගම්වාදය වපුරමිනුයි. එම තත්ත්වයන් පදනම් වූ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒ අය අදටත් ක්‍රියා කරන්නේ එම ජාතිවාදය හා ආගම්වාදය පදනම් කර ගනිමිනුයි.

     

    නමුත් අපි ජාතික ආණ්ඩුවක් වශයෙන් සෑම විටම උත්සාහ කරන්නේ මේ ප්‍රශ්න විසඳන්නයි. ජාතික වශයෙන් එකඟතාවයක් ඇති කරගෙන ඉදිරියට යන්නේ කෙසේද කියා අපි කල්පනා කරනවා. මෙය ලෙහෙසි පහසු කාරණයක් නොවෙයි. අවුරුදු 30 – 40 ක් බෙදී සිටි ජනතාව, යුද්ධයෙන් වෙන් වූ සිත්, ක්‍රමානුකූලව ඒකරාශී කර ගනිමින් ඉදිරියට යා යුතුයි. එහිදී විවිධ පාර්ශ්වයන්ගේ විවිධ අදහස් හා ඉල්ලීම් පිළීබඳවද අපේ අවානය යොමු කළ යුතුයි.

     

    රට ඒකරාශී කරන විට එක් අන්තවාදී කොටසක් මෙය රට පාවා දීමක් ලෙස හඳුන්වනවා. අවශ්‍ය වන්නේ මානව හිමිකම් පමණක් බව මානව හිමිකම් ක්‍රියාකාරිකයන් පවසනවා. මෙම අන්ත දෙක අතරින් මැදි මාවතක ගමන් කරන්නේ කෙසේද?

     

    අපේ ප්‍රයත්නය සිංහල ජනතාවට හානිදායක බවට සමහර සිංහල අයගේ මතයක් තිබෙනවා. එමෙන්ම ද්‍රවිඩ ජනතාව තමන්ගේ අයිතීන් දිනා ගෙන ඔවුන්ට සාධාරණයක් ඉටු විය යුතුයි යන අදහසේ සිටිනවා.

    තමන්ට හිමි අයිතීන් දිනා ගෙන අප සියලූ දෙනාම එකට ජීවත් වන්නේ කෙසේද කියා මුස්ලිම් ජනතාව සිතනවා. මේ අතර රට ඒකරාශී කිරීමේ ක්‍රියාදාමය කඩා බිද දමා රට ආපස්සට හැරවීමට උත්සාහ කරන පිරිසක් ද සිටිනවා. ඇතැම් ද්‍රවිඩ ජාතීන් තමන්ට කිසිඳු සාධාරණයක් ඉටු නොවූ බව පවසනවා. ඔවුන්ට හිමි ඉඩම් නොදෙන බවට හඬ නගනවා. මේ පිළිබඳව අවධානය යොමු කරන විට හමුදාව බිල්ලට දෙන බවට අනෙක් පැත්තෙන් එක් කොටසක් කෑ ගසනවා.

     

    මෙම ස්ථානයේ දී එක් කාරණයක් පිළිබඳව මා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. එනම් කිසිඳු විටෙක හමුදාව බිල්ලට නොදෙන බව මා මෙහිදී කියන්න කැමතියි. අපි සෑම විටම හමුදාව ආරක්‍ෂා කරමින් ඉදිරියට යනවා. දහස් ගණන් හමුදා සොල්දාදුවන් අල්ලා නඩු පවරන බවට සමහර අය කෑ ගසනවා. කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුනොවන අයුරින් ක්‍රියා කර සෑම පුද්ගලයෙකුට යුක්තිය ඉටු කිරීම අපේ අරමුණයි. දෙපැත්තේම ප්‍රශ්න තිබිය හැකියි. නමුත් එම ප්‍රශ්න දෙස ගැඹුරින් අවධානය යොමු කර සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීමට අප සූදානම්.

     

    අද රට දෙකට කැඩෙන බවට කෑ ගසන පිරිස එදා සුදු කොඩි සිද්ධියට එරෙහිව නඩු පවරන බවට හෝ ඒ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරන බවට පැවසුවේ නැතිනම් අද මේ තත්ත්වය උද්ගත වන්නේ නැහැ. අද කෑ ගසන්නේ ඔය සිද්ධියට මුල් වූ අය බව මා මෙහිදී කියන්න කැමතියි. සුදු කොඩි සිද්ධියට සම්බන්ධ පිරිස මරා දැමූවේ යැයි කියමින් එදා හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා ඇද ගෙන ගොස් හිරේට දැමුවේ කවුද? එමෙන්ම එදා නිව්යෝර්ක් නගරයට ගොස් මානව හිමිකම් කඩ වී ඇති බව පවසමින් අදාළ පාර්ශවයන්ට එරෙහිව නඩු පවරන බවට පැවසූයේ කුමන ආණ්ඩුවේ පුද්ගලයන් ද යන්න අසන්න මා කැමිතියි. මෙසේ ක්‍රියා කළේ කාගේ නීතිපතිවරයා ද? කාගේ විදේශ ලේකම්වරයා ද? එවකට සිටි ජනාධිපති කවුරුන්ද? ප්‍රශ්නය නිර්මාණය කළේ අන්න ඒ අයයි. අප මේ උත්සාහ කරන්නේ ප්‍රශ්නය විසඳීමටයි.

     

    දේශපාලන විසඳුමක් ඔසසේ මේ ප්‍රශ්න පහසුවෙන් බේරාගත හැකියි. පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදමට අප උත්සාහ කරන්නේ ඒ නිසයි.

    නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් බුද්ධාගමට ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානය හා බුද්ධාගම විනාශ කරන බවට අන්තවාදී කණ්ඩායම් දැන් පවසනවා. නව ව්‍යවස්ථාවෙන් එවැන්නක් සිදු වන්නේ නෑ. අද සෑම පාර්ශ්වයක්ම පවසන්නේ ඔවුන්ට තම ආගම ඇදහීමට නිසි අවස්ථාව ලබා දෙන ලෙසයි. මහනායක නාහිමිවරුන් පවා පවසන්නේ එයයි. නමුත් එයටත් විරුද්ධ වීමට කොටසක් අද පෙළඹි සිටිනවා. ඔවුන්ට අවශ්‍ය ජාතිවාදය, ආගම් වාදය අවුලූවා බලය ලබා ගැනීමටයි. නමුත් අපට අවශ්‍ය සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කොට සාධාරණ විසඳුමක් ලබා දීමටයි.

    රටේ ඒකීය රාමුවට කිසිඳු හානියක් සිදු නොවිය යුතුය යන ස්ථාවරයේ අප සිටින මේ මොහොතේ අප කෑලි කෑලිවලට කඩා රට විනාශ කරන බවට ඇතැමුන් කෑ ගසනවා. රට කැඩීමට කිසිවෙකුට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ. ඊට අපි ඉඩ දෙන්නේත් නැහැ. ඒකීය රාමුවක් තුළ බලය බෙදා හරින්නේ කෙසේද යන්න අප සිතා බැලිය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් යන්න නොව, පුද්ගලයෙක් වශයෙන් තම අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්නේ කෙසේද යන්න සිතා බැලිය යුතුයි. තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම වරදක් නොවෙයි. උතුරෙන් අදහස් ප්‍රකාශ වන විට ඇතැමුන් පවසන්නේ බලය බෙදා හරිමින් රට කඩන බවටයි. පළාත් සභාවේ සිටින එකඳු මන්ත්‍රීවරයෙක් හෝ පළාත් සභා බලය අඩු කරන ලෙස සුමන්තිරන් මහතා, රාවුෆ් හකීම් මහතා, මනෝ ගනේෂන් මහතා හා මා සිටින කමිටුවේ දී පැවසුවාද විමසීමට කැමතියි. සමගාමී ලැයිස්තුව අහෝසි කරන මෙන් උතුරු පළාත් සභාව පමණක් නොව දකුණේ පළාත් සභා 5 ක්ම පවසනවා. පළාත් සභාවේ සිටින සිංහල, මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි ඇතුලූ සියලූ දෙනාම පවසන්නේ පළාත් සභාවට මීට වඩා බලතල අවශ්‍ය බවයි.

     

    පාර්ලිමේන්තුවේ සිටින අපි සමගාමී ලැයිස්තුවෙන් සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු යැයි පවසන්නේ නැහැ. සමාගමි ලැයිස්තුවේ තිබෙන කරුණු කුමක්දැයි, මධ්‍යම ආණ්ඩුවේ තිබිය යුත්තේ කුමක්දැයි යන්න අපට සාකච්ඡා කළ හැකියි. ඉන්දු – ලංකා ගිවිසුමේ ද මේ බව සඳහන් කර තිබෙනවා.

     

    කෙසේ වෙතත් ලංකාවේ පළාත් සභාවල සිටින කිසිඳු පුද්ගලයෙක් බලය කප්පාදු කරන මෙන් කිසි විටෙක පවසා නැහැ. එහෙමනම් පළත් සභා බලය අඩු කරන්න එපා යැයි කියන දකුණේ සිංහල අය ද්‍රෝහියෝද? මම නම් ඔවුන්ව ද්‍රොහියන් ලෙස හඳුන්වන්නේ නැහැ. මේ ඇතැම් ඉල්ලීම් සාධාරණ ඉල්ලීම් විය හැකියි. සමහර ඉල්ලීම් අසාධාරණ විය හැකියි. එහෙත් විසඳුමකට එළැඹිය යුත්තේ ඒ සියල්ල පිළිඳව සියළු පාර්ශවයන් සමග සාකච්ඡාවෙන් පසුවයි.

    විපක්‍ෂයේ වුව ද, ආණ්ඩු පක්‍ෂයේ වුව ද, කුමන පක්‍ෂයක වුව ද පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම කෙනෙක්ම පවසන්නේ පාර්ලිමේන්තුවේ බලය ආරක්‍ෂා කරමින් බලය බෙදා හැරිය යුතු බවයි. අද බෙදීම ඇති වී තිබෙන්නේ දකුණේ පළාත් සභා 7 සහ උතුරේ පළාත් සභාව අතර නොවෙයි. පළාත් සභා සහ පාර්ලිමේන්තුව අතරයි.

    පළාත් සභාවේත්, පාර්ලිමේන්තුවේත්, විවිධ ජනවර්ගයන්ට අයත් පුද්ගලයන් සිටිනවා. කිසිඳු පාර්ශ්වයකට හානියක් සිදු නොවන අයුරින් විසඳුමකට යාම සඳහායි අප අද සාකච්ඡා කරමින් සිටින්නේ. එදා සෙනට් සභාව ඇති කළේ ඒකීය ආණ්ඩුවෙනුයි. ඒකීය ආණ්ඩුව තුළත් බලය බෙදා හැර තිබෙනවා. සෝල්බරි වාර්තාව අනුව සෙනට් සභා ක්‍රමය ඇති කර තිබෙනවා. නමුත් එම ක්‍රමය නැති කළේ බණ්ඩාරනායක මැතිනියයි. ඊට පසුව සෙනට් සභාව ගෙන ආ යුතු බව පැවසූයේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. මේ තත්ත්වය හමුවේ අපට රටට ගැලපෙන ද්විතීය මණ්ඩලයක් ඇති කර උද්ගත වී තිබෙන ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්න අවධානය යොමු කරමින් සිටිනවා. කෙටුම්පතේ තිබෙන බලතල පිළිබඳව සාකච්ඡා කර එම කෙටුම්පත ප්‍රතික්ෂේප කළ හැකි ද, නැතිනම් යළිත් සලකා බැලිය හැකි ද යන්න විවිධ අදහස් තිබෙනවා. කෙසේ වෙතත් විවිධ කණ්ඩායම්වල, පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ විවිධ අදහස් තිබෙනවා.

    මේ සියලූ අදහස් පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන මෙම අදහස් පිළිබදව සාවද්‍ය නිගමනයන්ට පැමිණ රට බෙදන බවට හෝ රට කඩන බවට නොපවසන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. තමන්ට මෙවැනි අදහස් ස්වාධීනව ප්‍රකාශ කිරමට අවස්ථාව ලැබුණේ මාධ්‍යවේදීන් තම ජීවිත පූජා කරමින් ලබාදුන් නිදහස නිසා බව මතක තබා ගන්නැයි මා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආණ්ඩුව අද රටේ ප්‍රශ්න විසඳීම සදහා වැදගත් සංධිස්ථානයකට පැමිණ සිටින මේ මොහොතේ දේශපාලන විසඳුමකට යන්න තිබෙන ගමනට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන මෙන් මාධ්‍යවේදීන් ඇතුලූ ඔබ සැමගෙන් මා ඉල්ලා සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya