අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ දුරදර්ශී ක්‍රියාමාර්ග නිසා පීඩාවට පත් ජනතාවට නිසි පරිදි සහන සැලසීමට හැකියාව ලැබී තිබෙනවා

    මාර්තු 09, 2017

    රජයේ දුරදර්ශී ක්‍රියාමාර්ග නිසා ස්වභාව ධර්මයේ විවිධ වෙනස්කම් හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට නිසි පරිදි සහන සැලසීමට හැකියාව ලැබී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ප්‍රවෘත්ති නිවේදනයයි

     

    දශක ගණනාවකට පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි නියගය නිසා හටගත් පානීය ජල ප්‍රශ්න,වගාහානීන්, ජලවිදුලිබල උත්පාදනයට බලපාන ගැටළු මුළුමනින්ම පහව නොගියත් රජයේ දුරදර්ශී ක්‍රියාමාර්ග නිසා ස්වභාව ධර්මයේ විවිධ වෙනස්කම් හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට නිසි පරිදි සහන සැලසීමට හැකියාව ලැබී ඇත.

    මෙම නියං තත්ත්වය තදින්ම බලපෑවේ ශ්‍රී ලංකාව වැඩි වී අස්වැන්නක් ලබාගෙන වාර්තාවක් පිහිටුවීමත් සමගය. 2015 වසරේදී ශ්‍රී ලංකාව ලබාගත් වී අස්වැන්න මෙ.ටොන් දස ලක්ෂ 4.8 කි. මෙය 2014 ට සාපේක්ෂව 42.6% ක වර්ධනයකි. 2016/17 මහ කන්නයේ නියගය දැඩි ලෙස බලපෑ දිස්ත්‍රික්කවල අපේක්ෂිත වී අස්වැන්නෙන් මෙ.ටොන් 435,390 ක්ද රටේ සමස්ථ අපේක්ෂිත වී අස්වැන්නෙන් මෙ.ටොන් 545,717 ද රටට අහිමිවනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලින් පෙන්වා දී ඇත. ඒ අනුව උපමානය කර ඇති රටේ සමස්ථ වී අස්වැන්න මෙ.ටොන් 1,873,756 ක් වුවත් අපේක්ෂා කළ හැක්කේ මෙ.ටොන් 1,328,039 ක අස්වැන්නක් පමණි.

     

    නියගය නිසා වී අස්වැන්න අඩුවීම ඉදිරි කන්නයන්හි වගා කටයුතුවලට සෘජුවම බලපාන අතර 2017 යල කන්නය හා 2017/18 මහ කන්නයේ වී වගා කටයුතු සදහා අවශ්‍ය බිත්තර වී සපයා ගැනීමේ ගැටළුවටද මුහුණ පෑමට සිදුවනු ඇත. මේ නිසා පහත රට තෙත් කලාපයේ දැනට අතහැර දමා ඇති කුඹුරු ඉඩම් නැවත වගාවට යොදාගෙන ආහාර නිෂ්පාදනයට එම ඉඩම් දායක කර ගැනීමට රජය මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී.

     

    ආපදාවට ලක්ව ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ පරිභෝජනය සදහා සහනාධාර ලෙස පකිස්ථාන රජයෙන් ලැබීමට නියමිත සහල් මෙ.ටොන් 10,000 ක් හා ඉන්දුනීසියානු රජයෙන් ලැබීමට නියමිත සහල් මෙ.ටොන් 5000 ක් මේ වන විටත් ලැබෙමින් පවතී.

     

    දැඩි වියළි කාලගුනික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17 ක පවුල් 320,461 ක පුද්ගලයින් දොළොස් ලක්ෂ විසිතුන් දහස් පන්සිය හැට අටක් (1,223,568) ආපදාවට ලක්ව ඇති අතර පානීය ජල ගැටළුවට මුහුණ පා ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ පහමාර ඉක්මවන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

     

    මෙලෙස පානීය ජල සම්පත හිගවීම ත්‍රිකුණාමලය, කළුතර, ගම්පහ, හම්බන්තොට, අනුරාධපුරය, යාපනය, මුලතිව්, කිලිනොච්චි, රත්නපුරය, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම සහ මහනුවර යන දිස්ත්‍රික්ක 13 ට සෘජුවම බලපා ඇත. පානීය ජල අවශ්‍යතාවට මුහුණපා සිටින ලක්ෂ පහමාරක් වන ජනතාව සදහා ලීටර් 1000 ජල ටැංකි 2370 ක් ලබාදී ඇති අතර ඒ සදහා වැය කළ මුදල රු. මිලියන 18.5 කි. තවත් ජල ටැංකි 3000 ක් මිලදී ගැනීමට කටයුතු කර ඇත. පානීය ජල අවශ්‍යතාව සැපයීම සදහා රජය දැඩි පරිශ්‍රමයක් දරණ අතර ජල උල්පත් සහිත බිම් ගිනි ගැනීම් නිසා ජල මුලාශ්‍ර සිදී යෑමේ තර්ජනයට ලක්ව ඇති බවද වාර්තා වේ.

     

    පානීය ජලය සැපයීමේදී කළුතර දිස්ත්‍රික්කයට වැඩි අවධානයක් යොමුවී ඇත. එම දිස්ත්‍රික්කයේ පානීය ජල හිගයෙන් පීඩාවට පත්වු ප්‍රමාණය ලක්ෂ 02 ක ඉක්මවයි. භුගත ජල සම්පත අඩුවීමත් සමග මුහුදු ජලය ළිං ඇතුළු ජල මුලාශ්‍රවලට එකතුවීම හේතුවෙන් බීමට නුසුදුසු තත්ත්වයක් පැවතීම පානීය ජලයෙන් පීඩාවට පත්වු ප්‍රමාණය කීපගුණයකින් වැඩිවීමට හේතු සාධක වී ඇත.

    මෙම හේතුන් රටේ ආර්ථික සංවර්ධන වේගය අඩාල කිරීමට යම් දායකත්වයක් සපයනු ඇතැයි රජය අපේක්ෂා කළද ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ගත යුතු සෑම සාධනීය පියවරක්ම ගැනීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු සියළුම රේඛිය අමාත්‍යාංශ කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කර සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya