මතුගම හොරණ මාර්ගය හරහා බුලත්සිංහල නගරයට පැමිණ නිග්ගහ බස් මාර්ගයේ කි.මී.05 ක් පැමිනි විට මෙම ස්ථානයට ලගාවිය හැකිය. මෙම ගල් පර්වතයේ නැගෙනහිර පැත්ත රත්නපුර දිස්ත්‍රික්කය වන අතර බටහිර පැත්ත කළුතර දිස්ත්‍රික්කයයි. දිස්ත්‍රික්ක දෙකක මායිම මෙම විශාල ගල්කුල මගින් වෙන්කර ඇති නිසා මෙම ගල්පර්වතය මායිම් ගල වශයෙන්ද ව්‍යවහාර වේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ මහනාම රජු සමයේ ශ්‍රී ලංකාවට වැඩම කල දේශ ගවේශක පාහියන් නම් භික්ෂූන් වහන්සේ මෙහි වැඩ සිටි නිසා මෙම ස්ථානයට පාහින්ගල යන නම ලැබී ඇති බව පිලිගැනේ.
මෙම ගල්ලෙන පිහිටි මුළු කඳුයායම අක්කර 570 ක් වන අතර මුහුදු මට්ටමින් අඩි 110 ක් උසින් පිහිටා ඇත. දිගින් අඩි 175 ක් හා පලලින් අඩි 150 ක් ඇති මෙම අර්ධ කවාකාර ගල්ලෙන ලොව විශ්මිත පිහිටීමක් ලෙස සැලකේ. මෙම ගල්ලෙනෙහි පිහිටීමේ සුවිශේෂ වූ ස්වාභාවික ලක්ෂණය වන්නේ අර්ධ කවාකාර හැඩයක් ගත්තත් ලෙනට වතුර ගලා නොයෙන ලෙස ඇති පිහිටීමයි.
නිරිත දිග මෝසම් සුලංවල ස්වාභාවික බලපෑම මගින් ගල් කුලෙන් පතුරු ගැලවීයාමෙන් මෙවැනි කවාකාර හැඩයක් ගත් ගල්ලෙනක් බිහි වී ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.
පුරා විද්‍යා කැනීම් වලට අනුව මෙම ගල්ලෙනෙහි වසර 37,000 ක් තරම් ඈත කාලයක සිට මිනිස් වාසය පිළිබඳ සාක්ෂි ලැබී තිබේ. ඒ අනුව නූතන මිනිසාගේ ආදිතම මානවයා හමුවන්නේ පාහින්ගල ප්‍රදේශයෙන් වන බව විශ්වාස කෙරේ.
වසර 400 කට වැඩි කාලයක් මෙම ස්ථානය බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇත. මෙම ගල්ලෙන තුල එකවර මිනිසුන් 3000 කට පමණ සිටිය හැකි බව කියවේ. මුළු ගල්ලෙන පුරා දැනට භික්ෂූන් වහන්සේලා 40 ක් පමණ වැඩ වාසය කරති.
සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් මෙම විහාරයට දායක පවුල් දහසකට වැඩි ප්‍රමානයක් සිටිති. මහනුවර යුගයේ සිටි පුරෝගම ස්වාමින්වහනසේගෙන් මූලිකත්වයෙන් ඇරබුනු පාහින්ගල ගල්ලෙන් විහාරයේ වර්තමාන විහාරාධිපති ලෙස පූජ්‍ය යටගම්පිටියේ චන්දිම ස්වාමීන් වහන්සේ කටයුතු කරනු ලබන සේක.
1962 වසරේදී මෙම විහාරයේ ආරම්භ කල දහම් පාසල පාහින්ගල ගුණානුස්මරණ දහම් පාසල ලෙස නම් කර ඇත. දහම් පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පරිහරණය සඳහා පොත් දහසකට වඩා වැඩි පුස්තකාලයක් ද ඉදි කර තිබේ.
ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව 1994 ජනවාරි මස වර්තමාන විහාරාධිපති පූජ්‍ය යටගම්පිටියේ චන්දිම ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කල ශිෂ්‍ය පිරිවෙනෙයි භික්ෂූන්වහන්සේලා තිස්දෙනමක් අධ්‍යාපනය කටයුතුවල නිරතව සිටිති.
පාහින්ගල බෞද්ධ මධ්‍යස්ථානයක් මෙන්ම ඉහළ පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ද සැලකේ. පාහින්ගල ජාතික පරිසර සංරක්ෂන සංවිධානය, පාහින්ගල අනුස්මරණ පදනම, පාහින්ගල සංවර්ධන සංරක්ෂණ අරමුදල වැනි සමිති හා සංවිධාන හරහා මෙම විහාරයේ සංරක්ෂණ හා සංවර්ධන කටයුතු සිදුකරනු ලබයි.
ඩබ්.එම්.ශාන්තප්‍රිය