ඇල්පිටිය, කහදූව මාර්ගයේ හෝ පිටිගල මාර්ගය ඔස්සේ කිලෝමීටර් 15ක් පමණ ගෙවා මෙම පුද බිමට ළඟා විය හැක. අප මෙහි යන විටත් ආරණ්‍ය සෙනසුනේ භික්ෂූන් වහන්සේලා ඉතාමත් සංසුන්ව නිහඬව සෙමින් සෙමින් වැලි මළුව අමදිමින් සිටියහ. සෙනසුන වට කොට බැඳි ගල් පර්වතයේ පණ නල නෙළීම අවසන් කොට තිබිණ. එනම් මේ කථා මූලාශ්‍රය වන ශෛලමය බුද්ධ ප්‍රතිමාවේ වැඩකටයුතු අවසන් කොට තිබිණි.
වතුරවිල වනවාසී ආරණ්‍ය සේනාසනය ආරම්භ කරනු ලැබූයේ බෝධිසත්ව ගුණෝපේත වතුරවිල ශ්‍රී ඤාණානන්දාභිධාන වනවාසී මහානායක හිමිපාණන් විසින් 1953 වර්ෂයේදීය. මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායේ සිට පැවති එන මෙම වනවාසී භික්ෂූ පරපුරේ මහානායක පදවිය උසුලන ලද වතුරවිල වතුරවිල ශ්‍රී ඤාණානන්දාභිධාන වනවාසී මාහිමියන් මීට පෙරාතුව මාගම රුහුණු රට මදුනාගල වැනි දුරක් ආරණ්‍ය සෙනසුන්හි සිය ආරණ්‍යවාසී ජීවිතය ගෙවා ඇත. පසු කලෙක මෙම කහදූව වතුරවිල සෙනසුන බිහි කළ වතුරවිල ඤාණානන්ද හිමිපාණෝ 1953 වර්ෂයේ සිට උන්වහන්සේ අපවත්වන මොහොත දක්වා ම පුරා වසර 33ක කල සීමාවක් මේ සෙනසුන හැකි උපරිමව දියුණු කළේ ආරණ්‍ය සෙනසුනේ ඇල්ම බැල්මට හිතාදර ලෙසිනි. උන්වහන්සේ අපවත්වීමෙන් පසුව මෙහි භාරකාරත්වය මේ වන තෙක් උසුලනු ලබන්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය මහකන්දේ රතනපාල අනුනායක හිමිපාණන් විසිනි.
අක්කර 80ක පමණ භූමි භාගයකින් යුත් මෙම සෙනසුනෙහි භික්ෂූන් වහන්සේලා 50කට අධික සංඛ්‍යාවක් වැඩ වාසය කරනු ලබන අතර ඉන් බහුතරය සෙනසුනේ පිරිවෙන්ගතව ධර්ම ශාස්ත්‍රය හදාරනු ලබන සාමණේර භික්ෂූන් වහන්සේලා වෙති. මෙවැනි පාරිසරික පසුබිමක ඉදිවන ශෛලමය බුද්ධ ප්‍රතිමාව පිළිබඳව කතාබහට ලක් කළ යුතුය. සුන්දර හාත්පස පරිසරය ඒකාලෝක කරමින් නැගී සිටින "කායොත්සර්ග අභය මුද්‍රාවෙන්" යුත් ශෛලමය බුද්ධ ප්‍රතිමාව සැදැහැවතුන් දැහැන්ගත කරලීමට සමත් සංකේතයක් බවට පත්ව ඇත. උදෑසන අරුණාලෝකයත් සමඟින් හාත්පස තුරු වදුලට මුදාහැරෙන රශ්මියෙන් ප්‍රමුදිත මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමාව අතීත සිරිලක පෞඪත්වය නැවත නැවතත් මෙනෙහි කරලීමට සමත්ව ඇත. මෙයට හේතුව ශෛලමය බුද්ධ ප්‍රතිමාව පමණක් නොව, එහි මල් අසුන, පියගැට පෙළ, කොරවක්ගල් ආදී පසුබිම නිර්මාණ සියල්ල ශෛලමය නිර්මාණ වීමයි.
2008 දෙසැම්බර් වර්ෂයේ ආරම්භ කළ මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමාව නිර්මාණයේ කටයුත්ත සැබැවින්ම රතනපාල අනුනායක හිමියන්ට අභියෝගයක් විය. අතිවිශාල මුදලක් වැය කිරීම, තාක්ෂණය හා නිර්මාණකරුවන් යන සම්පත් සකසා ගැනීම පිළිබදව උන්වහන්සේ විවිධ ආකාරයෙන් සොයා බැලූ අතර අවසානයේ මේ පිළිබඳව උපදෙස් ලබාගැනීමට ඉන්දියා යාමට පවා තීරණය කළ සේක. එහෙත් අවසානයේ උන්වහන්සේගේ අරමුණ ජයග්‍රහණය කළේ ය. සැබැවින් ම ආශිර්වාදාත්මක මෙම මාහැඟි කර්ත්‍යය සඳහා මිනුවන්ගොඩ, ස්ටාර්ග්‍රැනයිට් ගල් කැටයම් අධිපති විශ්වකීර්ති දේශමාන්‍ය එච්.සී.එල්. වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ලාංකේය නිර්මාණ පිරිස එක්වූහ. ඔවුහු මෙම කටයුත්ත යුගයේ අවශ්‍යතාවක් බවට පත් කර ගත් අතර කටයුත්ත ආරම්භ කළහ. හිත් පිත් නැති ඉහළට එසවණු කළුගල මොහොතින් මොහොත කුළු පහරින් පහර බිඳ දැමූහ. තද ශෛලමය කොටස අඩි 30ක් දක්වා කැනීම ආරම්භ කළ අතර නිවැරදි ස්ථරය මත බුදු රුව නෙලීම ආරම්භ කළහ.
අව් වැසි මධ්‍යයේ අඩි 42ක් උස වූ මෙම ශෛලමය හිටි පිළිමය මෙම වසර 08ක කාල සීමාව තුළ අවසන් කිරීමට බොහෝ වෙහෙස මහන්සි වූ අතර ඒ සඳහා රුපියල් කෝටි 05කට ආසන්න මුදලක් වැය වී ඇති බවට වනවාස සංඝ මූලස්ථානාධිපති අතිපූජ්‍ය මහකන්දේ රතනපාල ස්ථවිරයන් අප සමඟ පැවසූහ. අභය මුද්‍රාවෙන් යුත් මෙම ශෛලමය හිටි පිළිමය වසර සිය දහස් ගණනක් නොනැසි පවතින නූතන බොදු උරුමයකි.
පොලොන්නරු යුගයෙන් පසු ලාංකික නිර්මාණකරුවන් අතින් නිමැවෙන පළමු ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙය බවත් රතනපාල ස්ථවිරයෝ අප සමඟ පවසා සිටියහ. සැදැහැවත් බෞද්ධයෙකු විසින් දැක පහන් සංවේගය උපදවා ගත යුතු නිර්මාණයක් ලෙස මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමාව හඳුන්වා දිය හැකි අතර මේ සඳහා රටේ නන් දෙසින් බොහෝ පිරිස් උපකාර කර ඇති බවද අපට අවබෝධ විය. මේ සා විශාල මහා පරිත්‍යාගයන් සිදු කරමින් ඔවුහු සිදු කොට ඇති සම්මාදම සුළුවෙන් තැකිය හැක්කක් නොවනු ඇත. ඒ ආසන්නයේම ඉදිකොට ඇති අපවත් වී වදාළ අතිපූජ්‍ය වතුරවිල වනවාස මහනාහිමියන් වහන්සේ ශෛලමය ප්‍රතිමාව ද ජීවමාන ස්වරූපයෙන් ඉදිකොට ඇති අතර සැදැහැවතුන්ට උන්වහන්සේගේ කායික ලක්ෂණයන් පවා මනාව නිරූපණය වන ලෙස එය දැක ගත හැක.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සෙල් පිළිමය නෙලීමේ කමිටුවේ සභාපති වශයෙන් ඉතා උනන්දුවකින් මේ පිළිබඳව සොයා බැලූ අතර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් හැකි සෑම ආකාරයකින් ම මෙම කටයුත්ත උදෙසා පක්ෂ පාට භේදයකින් තොරව උපකාර කරන ලද්දේ යුගයේ අවශ්‍යතාවක් නිසාවෙනි. එහි ප්‍රතිඵලය විශිෂ්ට නිමැවුමකි. ලබන 19 වන දින ප.ව 2.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම ශෛලමය ප්‍රතිමාව නිරාවරණය කිරීමට නියමිත අතර එයට සමගාමීව ආරණ්‍ය සේනාසනයේ විවිධ සංවර්ධන කටයුතු මේ දිනවල සැකසෙමින් පවතී.
අතීතයේ කාලයේ වැලිතලාවන්ගෙන් වැසී තිබූ ලාංකේය කලාකරුගේ නූතන භූමිකාව දැන් සක්සුදක්සේ පැහැදිලිය. හෙල කලා කරුවා එදා සිට මේ දක්වාම උරුමයෙන් ලද ස්වකීය කලා කෞශල්‍ය අදත් හෙටත් නොනැසී පවත්වාගෙන යාම උදෙසා කටුව මිටිය අත හැර නොමැත. එකී පරපුර තවමත් ජීවමානව අප අතර වෙසෙති.
සහන් හේවා ගමගේ
ප්‍රවෘත්ති නිලධාරී - ගාල්ල