අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන පරතරය නැති කිරීම සඳහා අපි හොඳින් කටයුතු කර තිබේ

    ඔක්තෝබර් 05, 2015

    ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අද මා මෙහි පැමිණ සිටින්නේ දේශපාලන පරතරය නැති කිරීම සඳහා අපි හොඳින් කටයුතු කර තිබේය යන නිහතමානි ආඩම්රයෙන් යුතුව බව ජාත්‍යන්තර සාම ආයතනයේ දී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

    සාමය ගොඩනැඟීමේ නව ප්‍රවේශයක් සඳහා උත්සුකව ක්‍රියා කරන්නන්” යන තේමාව යටතේ ජාත්‍යන්තර සාම ආයතනයේ දී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය අඟහරුවාදා (සැප්. 29) සිදු කළ දේශනයේ දී මේ බව ප්‍රකාශ කළේය.

     

    විදේශ අමාත්‍යවරයා සිදු කළ සම්පූර්ණ දේශනය,


    “සාමය ගොඩනැඟීම පිළිබඳ මෙම වැදගත් කාරණය ගැන සාකච්ඡා කිරීම සඳහා ඔබ සමඟ එක්වීමට අවස්ථාවක් ලැබීම මා ලත් ගෞරවයක් යැයි මට හැඟේ.

     

    අද දින මෙම රැස්වීම කැඳවීම ගැන ස්වීඩන් රජයටත් ජාත්‍යන්තර සාම ආයතනයටත් ස්තූතිය පළ කරනු කැමැත්තෙමි.

     

    අප සාකච්ඡා කරන සාමය හා සාමය ගොඩනැඟීම යන විෂයයන් විශේෂයෙන් කල් පවත්නා සාමය අරබයා උත්සුකව කටයුතු කරමින් සිටින ශ්‍රී ලාංකිකයන් වන අපට 2015 පශ්චාත් සංවර්ධන න්‍යාය පත්‍රයක් සඳහා වැදගත් මූලික කරුණු අඩංගු විෂයයන්ය.

     

    නෝනාවරුනි, මහත්වරුනි,
    ශ්‍රී ලාංකික ජනතාව, ප්‍රතිසන්ධානය සහ යහ පාලනය, නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම හා ප්‍රජාතාන්ත්‍රික ආයතන යළි ගොඩනැඟීම සහ පැහැදිලි ජන වරමක් ලබාදෙමින් නව ජනාධිපතිවරයෙකු පත්කොට ජනවාරි 8 වන දින දේශපාලන ප්‍රතිසංස්කරණයේ විශිෂ්ඨ මඟකට පිවිස ඇත.

     

    දශක තුනක කාලයක් තුළදී පවත්වනක ලද වඩාත්ම සාමකාමී මැතිවරණයක් වන පසුගිය මාසයේ අගෝස්තු 17 දී පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණය මගින් මෙම ජනවරම තවදුරටත් ශක්තිමත් විය.

     

    මෙම මැතිවරණ දෙකේදීම අති විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාදීමෙන් ශ්‍රී ලංකා ජනතාව ප්‍රදර්ශනය කළේ ඔවුන් මත භේදයට තුඩුදෙන දේශපාලන විඛණ්ඩිතභාවය නවතා කල්පවතින සාමය කරා පියනඟන දේශපාලන නායකයින් බලයට පත් කිරීම තම අභිප්‍රාය වූ බවය.

     

    දැන් අපි ප්‍රමුඛත්වයෙහි ලා සලකන්නේ අපේ ජනතාවගේ සිඳී බිඳී ගිය සිත් සතන් සුවපත් කිරීමත්, ජාතියේ පවතින විවිධත්වය ගැන සාඩම්බරයෙන් යුතුව ප්‍රතිසන්ධානය තහවුරු කිරීමත්, පසුගිය කාලයේ සිදුවූ දේ නැවත සිදුවීමට ඉඩ නොදී සංවර්ධනය කරන පිය නැඟීමත්ය.

     

    සාමය ගොඩනැඟීම සඳහා අප යොදන ප්‍රයත්නවලදී ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් ජාතීන්ගේ සංවිධානය, විද්වත් මණ්ඩල හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ මෙන්ම අපගේ ද්විපාර්ශ්වික පාර්ශ්වකරුවෝ සමඟ ශ්‍රී ලංකාවේ පාර්ශවකාරීව යළිත් ස්ථාපිත කරමින් හා අළුත් කරමින් කටයුතු කිරීමටද අප රජයට සිදුවී තිබේ. එහෙයින් ප්‍රතිචාර සැකසීම සඳහා හෝ අප විසින්ම පිළිතුරු සෙවීම සඳහා උත්සාහ දරන මෙම ගමන අභ්‍යන්තර දැක්මකින් යුතු වූවක් නොවේ.

     

    අපට තනිව ගමන් කිරීමට හැකිවන තුරු අප සමඟ මෙම ගමන යාමට බොහෝ රටවල වෙසෙන සියළුම ශ්‍රී ලාංකික මිතුරන්ගේ සහාය අපට අවශ්‍ය වෙයි.

     

    සාමය ගොඩනැගීමේ ක්‍රියාවලිය, අනාගත ගැටුම් වළක්වාලීමට සහ ගැටුමේ මුල හේතුන් පිළිබඳව සලකා බලා ඒවාට විසඳුම් ලබාදීමට වෙර දරන ක්‍රියාවලියක් විය යුතුය. මෙම ගැටුම එක් කාලසීමාවකට විශේෂිත වූවක් නොවේ. එම කාලයාගේ ඇවෑමෙන් ගොඩනැඟෙන සංසිද්ධියකි.

     

    තම රටෙහි සහ ලොව අන් රටවල් සමඟ සාමයෙන් කටයුතු කරන ජාතියක්, ජාත්‍යන්තර ප්‍රජාව හා ජාත්‍යන්තර සංවිධාන සමඟ කටයුතු කරන, තොරතුරු බෙදාහදාගන්නා සහ සහයෝගිතාව සාකච්ඡා කිරීම සහ සංවාද තුළින් විසඳුම් සොයන ජාතියක් ගොඩනැඟීම අපගේ දැක්මය. සාමය සුරකින්නන් ලෙස පමණක් නොව ගැටුමේ සෑම අදියරකදීම සාමය ගොඩනඟන්නන් ලෙස වසර 60ක් පුරා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකත්වය දරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය භාරය සඳහා අපි ඇප කැපවී සිටින්නෙමු. අවි ගැටුම් වැළැක්වීම, කළමනාකරණය හා පරිවර්තනය කෙරෙහි යොමු වී කටයුතු කළ යුතු වෙමු.

     

    සාමය ගොඩනැඟීමේ සංකීර්ණ ව්‍යුහය පිළිබඳ උපදේශාත්මක විශේෂඥ කණ්ඩායමේ වාර්තාවට අනුව, එක්සත් ජාතින්ගේ ආයතන කීපයක් එක් හඩක් නැගීම වැදගත් වෙයි. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අද මා මෙහි පැමිණ සිටින්නේ දේශපාලන පරතරය නැති කිරීම සඳහා අපි හොඳින් කටයුතු කර තිබේය යන නිහතමානි ආඩම්රයෙන් යුතුවය. අපි මෙම මාසයේදී, ප්‍රතිපත්තිමය හා දේශපාලන ස්ථායිතාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රධාන දේශපාලන පක‍ෂ දෙක හා වෙනත් කුඩා පක‍ෂ කීපයකින් සමන්විත වන ජාතික සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවෙමු.

     

    අතීතයේ විඳි දුක් වේදනාවලට හේතු වූ අපගේ සාමුහික වරද සහ ඒ පිළිබඳ පසුතැවිල්ල පිළිගැනීමට අපි පියවර රැසක් ගෙන ඇත්තෙමු. යුද්ධය හා මෙවැනි දුක් වේදනා යළි ඇති නොවීම තහවුරු කිරීම සඳහා රජයේ ඇති ඇප කැපවීම ප්‍රකාශ කරමින් පෙබරවාරි 4 වැනි දින එනම් ජාතික දිනයේදී පොරොන්දුවක් ලබා දුනි.

     

    අප සිදුකරගෙන යන ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස, බහුවාර්ගික, බහු-සංස්කෘතික, බහු ආගමික රටක් වන අප රටෙහි වෙසෙන සෑම පුරවැසියෙක්ම පිළිගනිමින් ක්‍රියාත්මක කරන ප්‍රතිසංධාන ක්‍රියාවලියක් සඳහා අපි ඇප කැපවී සිටින්නෙමු. පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් තෙවැනි ස්ථානයට පත්වූ දෙමළ සුළුතරය නියෝජනය කරන දේශපාලන පක‍ෂයේ නායකයා ප්‍රථම වතාවට වර්තමාන ශ්‍රී ලංකාවේ විපක‍ෂ නායකයා ලෙස පත්කර තිබේ.

     

    අපගේ පාදක මූලධර්මයක් බවට පත්ව ඇති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සුරැකීම හා මානව හිමිකම්වලට ගරු කිරීමට ඇප කැපවී සිටින ජාත්‍යන්තර ප්‍රජාව හා එක්ව කටයුතු කරන කැපී පෙනෙන සාමාජිකයෙකු ලෙස තවදුරටත් ඉදිරියට යාම සඳහා මෙම වසරේ අප දරන උත්සාහය පිළිගැනීමට ලක් කිරීම සම්බන්ධයෙන් සාමය ගොඩනැගීම සඳහා වන එක්සත් ජාතීන්ගේ අරමුදලට අපගේ කෘතඥතාවය පළකරමු.

     

    ශ්‍රී ලංකාවද පශ්චාත් ගැටුම් සන්දර්භයක් තුළ නැවත යථා තත්ත්වයට පත්වීමට උත්සාහ දරමින් සිටින හෙයින්, සාමය ගොඩනැඟීම සඳහා වන අරමුදල හා සාමය ගොඩනැගීම සඳහා සහාය ලබාදෙන කාර්යාලය එවැනි පශ්චාත් ගැටුම් වාතාවරණයන් හිදී සාමය ගොඩනැගීමේ කටයුතුවලට සහාය දීම පිණිස සිදුකරන කටයුතු අපගේ ඇගයීමට ලක්වෙයි.

     

    ගැටුම්කාරී අවස්ථා හේතුකොට ගෙන බොහෝ කාලයක් මුළුල්ලේ පීඩාවට පත්වූ අපගේ ජනතාවට දිගුකාලීන සාමයේ ප්‍රතිලාභ ලබාදිය හැකි ආකාරයෙන් සාමය ගොඩනැංවීමට අපි කැප වී සිටිමු. සාමසාධක ප්‍රයත්නවල කොටසක් ලෙස, අතුරුදන්වීම් පිළිබඳව, මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරීන් ඝාතනය කිරීම පිළිබඳව හා අතුරුදන් වූවන් පිළිබඳව ස්වාධීන විමර්ශන පැවැත්වීමට දැනට ඉතිරි වී සිටින අභ්‍යන්තරිකව අවතැන් වූ පුද්ගලයන් ප්‍රමාදයකින් තොරව නැවත පදිංචි කිරීමට හැ ගැටුම් කාලයේදී සිය දේපල අහිමි වූ පුද්ගලයන්ට ඔවුන්ගේ ඉඩම් නැවත ලබාදීමට අපි කැපවී සිටිමු. මෙම ඉඩම් ආපසු ලබානොදීම, උතුරු පළාතේ ජනතාවගේ දුක් ගැනවිලි අතර මූලිකත්වය ගත්තකි.

     

    මේ සම්බන්ධයෙන් සැලකීමේදී, උතුරු පළාතේ අධි ආරක‍ෂක කලාපවල හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ ඉඩම් අක්කර 1000ක් පමණ නිදහස් කිරීමට අපගේ පරිපාලනය දැනටමත් කටයුතු කර ඇත. දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි, අරගලයෙන් වඩාත් විනාශයට පත් ප්‍රදේශවලට විශේෂ අවධානයක් යොමු කරමින්, රට පුරා සාධාරණ ආකාරයකින් සංවර්ධන කටයුතු සිදුකෙරෙන බව තහවුරු කිරීම සඳහා අපි කැප වී සිටිමු.

     

    ප්‍රතිසංධානය සඳහා යම් කාලයක් ගත විය හැකි නමුත් එය සාමය ගොඩනැඟීමේ කර්තව්‍යය සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් වන අතර, එහි වැදගත්කම සුළු කොට තැකිය නොහැක. ශ්‍රී ලංකාව තුළ එයට ඇතුළත්වන්නේ සත්‍ය සෙවීම, සාධාරණත්වය, හානි පූරණය හා එවැනි සිද්ධීන් නැවත ඇතිවීම වැළෑක්වීමයි. සත්‍ය සෙවීම යනු සාධාරණත්වය, නීතියේ ආධිපත්‍යය හා වගකීම අරමුණු කරගත්, සතුරන් දඩයම් කිරීමට නොව වේදනාවන් සමනය කිරීම හා සමාව දීම සඳහා කරන උත්සාහයකි.

     

    අපගේ සාම සාධක ප්‍රයත්නවලදී මානව සුරක‍්ෂිතතාවය, මානව හිමිකම් හා සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සිදුකරන කටයුතුවලදී ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර සංවිධාන, ලෝක ප්‍රජාව හා සියළු පාර්ශ්වයන් සමඟ ධනාත්මක ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම අවධාරණය කරමින්, මාගේ කතාව අවසන් කිරීමට කැමැත්තෙමි.“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya