අප සිටින්නේ තාක්ෂණයෙන්, දැනුමින්, ගෝලීයකරණයෙන්, නව්‍යකරණයෙන් කෙල පැමිණි යුගයක ය. විශ්වය ද හඹා යන යුගයක ය. නමුත් කෙතරම් දියුණු සමාජයක් බවට අප පත් ව සිටිය ද වල්මත් වී අතරමංව සදාචාරය ඉක්මවමින් නැවතත් අප මුල් යුගයකට පා තබමින් සිටිනවාදෝ යැයි මට සිතේ. මන්දයත් මෑත කාලීනව අප රටේ සෑම මුද්‍රිත, විද්‍යූත් හා අන්තර්ජාල ප්‍රවෘත්තිවල විශාල අවකාශයක් ලබා දෙමින් උණු කැවුම් වාගේ මාධ්‍ය වෙළෙඳපොළේ විකුණනු ලබන හැඟීම්බර, උත්තේජනාත්මක පුවත් වූයේ ළමා අපචාර, ලිංගික සූරාකෑම්, ළමා දිවිනසා ගැනීම් වැනි සිද්ධීන්ය.
එනම්, එක බඩවැල කඩාගෙන ආ සහෝදරිය දුෂණය කරන්නට තරම් නිර්ලජ්ජිත වූ සහෝදරයන් ගැනයි; පිය - පුතු දෙදෙනා එක්ව පියාට දියණිය වූත් පුතුට සහෝදරිය වූත් බැඳීමක් ඇති තම ලෙයම හපකර රස බොන්නට තරම් ජුගුප්සාජනක පාපතරයන් ගැනය; ශිල්ප උගනින්නට සෙවණට එන දූ දරුවන් දුෂණයට, අපයෝජනයට ලක්කරන්නට තරම් තිරිසන් වූ ගුරුවරුන් ගැනය; මුණුබුරු මිණිබිරියන් දූෂණය කර මරා දමන්නට සාහසික වූ අවුරුදු අසූව අනූව ඉක්ම වූ වැඩිහිටියන් ගැන ය.
තම නිවෙස, මහ මග, පොදු ප‍්‍රවාහන සේවාව, පාසල් වෑන් රථය, පාසල, රැකියා ස්ථානය මෙකී නොකී මේ සියලු තැන් හිදී දරුවන් කෙලෙසෙන්නේත්, කෲර වද බන්ධනවලට ලක්වන්නේත්, දූෂණ සිදුවන්නේත් මනුෂ්‍යත්වය හා සමාජයීය හර පද්ධතීන් දියාරු වී ගිය පදනමක් මතය. අධ්‍යාපනය අහිමි ව ළමා යාචකයන්, වීදි දරුවන්, ළමා කම්කරුවන් බවට පත් වී හෝ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට යටත් වී සිටින දරුවන්ගේ ජීවිතවලට වගකිව යුත්තේ දෙමාපිය, වැඩිහිටියන් ද පිරිහී යන ආර්ථිකය ද සුදු රෙදි පොරවාගත් ආශාවන්ගෙන් උච්චස්ථානයකටම පැමිණි උද්වේගකර සමාජය ද නොඑසේ නම් රජය ද නීතිය ද යන්න වත්මන් සමාජ පද්ධතියම කලඹවා විසඳුම් සෙවිය යුතු කරුණක් බවට පත්ව ඇත.
“සියලු ම ආකාරයේ කායිකව හා මානසිකව ළමයාට කරන්නා වූ නොමනා කි‍්‍රයා, ලිංගික අපයෝජන, නොසලකා හැරීම හෝ කෲර ලෙස සැලකීම හෝ වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරාකෑම් හේතුකර ගෙන ළමයාගේ සෞඛ්‍ය පැවැත්ම, සංවර්ධනය, වගකීම, විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයෙ හි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි කි‍්‍රයාකිරීම ළමා අපයෝජනය හා ළමා හිංසනයයි.“ යැයි ළමා අපයෝජන හා ළමා හිංසනය පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ විග‍්‍රහ කරයි.
දිනකට ළමා අපයෝජන හා ළමා හිංසනය සම්බන්ධ පැමිණිලි 30-35ක් අතර ප්‍රමාණයක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබෙන බව
ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නාටාෂා බාලේන්ද්‍ර මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසුවාය. 2015 වසරේ මැයි 11වන දින වන විට ළමා ආරක්ෂණ අධිකාරියට ළමා අපයෝජන හා ළමා අපචාර පිළිබඳ පැමිණිලි 3,219ක් පමණ වාර්තා වී ඇතැයි ළමා ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කර සිටියි. මෙම කාල සීමාවේ දී ළමා හිංසනය සම්බන්ධ පැමිණිලි, අධ්‍යාපනය නොලබන ළමුන් පිළිබඳ පැමිණිලි හා ලිංගික අපයෝජන සම්බන්ධ පැමිණිලි වැඩි සංඛ්‍යාවක් ලැබී ඇත. ලැබී ඇති පැමිණිලි අතුරින් වැඩි ම සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම ද සැලකිය යුතු කරුණකි.
මෙම තත්ත්වය පිරික්සීමේ දී 2013, 2014 ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව 10,273 හා 10,315ක් වන අතර වැඩි ම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ය. 2015 අප්‍රේල් අවසාන වන විට ළමා ආරක්ෂණ අධිකාරිය මැදිහත්ව ඉන් පැමිණිලි 5,475ක් විසඳා අවසන් කර ඇත.
ලැබෙන පැමිණිලි විශ්ලේෂණය කිරීමේදී වැඩි වශයෙන් ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි වාර්තා වී ඇත්තේ පිළිවෙලින් කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල ඇතුළු නාගරීකරණයෙන් වැඩි දිස්ත්‍රික්කයන්ගෙන් ය. කෙසේවෙතත්, ග්‍රාමීයව පවතින අඩු සාක්ෂරතාව, අවම තාක්ෂණික පහසුකම්, අවම දැනුවත්කිරීම් වැඩසටහන් සහ සාම්ප්‍රදායික මත හේතුවෙන් ළමා අපචාර සහ අපයෝජන පිළිබඳව වාර්තා නොවීමට යම්කිසි ඉඩප්‍රස්ථාවක් පැවතිය හැකි යැයි ළමා ආරක්ෂණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (නීති) ප්‍රීතිකා සකලසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. නමුත්, සාපේක්ෂව නගරබදව ළමා අපචාර සහ අපයෝජන වැඩි වශයෙන් දක්නට ලැබේ යැයි ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
ලිංගික සූරාකෑමෙන් ආරක්ෂාවීමට දරුවන්ට ඇති අයිතිය, හානිකර දේවල යෙදවීමෙන් ආරක්ෂාවීමට ඇති අයිතිය, වදහිංසා හෝ කෲර ලෙස සැලකීම හෝ දඬුවම්වලින් මිදීමට ඇති අයිතිය, නිදහසට හා සුරක්ෂිතභාවයට ඇති අයිතිය දරුවන්ට ලබාදී ඇත්තේ 1992දී ලංකාවේ සම්මත කර ඇති ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තියෙනි.
එහෙත් අදටත් අප රටේ මෙන්ම මේ විශ්වයේ ද බොහෝ දරුවන් ලිංගික අපයෝජනයන්ට හා විවිධ හිංසනයන්ට බඳුන් වෙයි. අන්ත දුගීභාවය, දරුවන්ට මව්පිය රැකවරණය හා ආරක්ෂාව අහිමි වීම, දරුවන් හුදෙකලා වීම, දරුවා කෙරෙහි වන වැඩිහිටි පාර්ශ්වයන් හි අවධානයේ හා සැලකිලිමත්කමේ අඩු බව, දරුවන් අනාථභාවයට පත්වීම, මව්පිය ආදරය නොලබන දරුවන් එම ආදරය සමාජයේ වෙනත් පාර්ශව වෙතින් සොයායාම, අයහපත් මිතුරු ඇසුර, අන්තර්ජාලය, විශේෂයෙන් ෆේස් බුක් (මුහුණු පොත) ස්කයිප් වැනි තාක්ෂණික ක‍්‍රම අයථා ලෙස භාවිත කිරීම වැනි විවිධ හේතූන්ද දරුවන් අපයෝජනයන්ට පාත‍්‍රවීමට පසුබිම සකස් කරයි.
වයස 14ට අඩු ඕනෑම තරාතිරමක ළමයෙකු අනිවාර්යෙන්ම අධ්‍යාපනය ලැබිය යුතුයි යැයි නීතියක් අප රටේ පවතින බව සමාජයේ ලොකු පොඩි කවුරුත් දන්නා කරුණකි. නමුත් 2015 මුල් කාර්තුව තුළ පමණක් අධ්‍යාපනය නොලබන ළමුන් පිළිබඳ ව පැමිණිලි 369ක් ළමා ආරක්ෂණ අධිකාරියට ලැබී ඇත. 2014 වසරේ පැමිණිලි 1470ක් ලැබී ඇත. මෙය අප රටේ අනාගතයට ඉතා අයහපත් කරුණක් වන්නේ ළමුන් යනු රටක අනාගතය වෙනුවෙන් කරනු ලබන විශාලම ආයෝජනයක් බැවිනි. රටේ අනාගතය සාක්ෂරතාවෙන් අඩු වන්නේ නම් ඒ
රට දියුණු වන්නේ කෙසේද? ආර්ථික දුෂ්කරතා, පවුල් තුළ ඇති විෂමතා මෙන්ම දරුවන් ළමා ශ්‍රමිකයන් ලෙස පවුල් නඩත්තු කරන්නට යොමු කිරීම ද ළමුන්ගේ අධ්‍යාපනය අඩාල වීමට බලපාන කරුණු වේ. නිදහස් අධ්‍යාපනය යැයි පැවසෙන අප රටේ අධ්‍යාපන ක්‍රමය ද සල්ලි ගිල දමන යන්ත්‍රයක් බවට පත් වී ඇත. මෙය ද ළමුන් අධ්‍යාපනයෙන් ගිලිහෙන්නට බලපෑ ඇති ප්‍රධානම කරුණකි. දවස් කුලියක් කර ජීවත්වන පහළ පාන්තික පවුල්වලට වත්මන් අධ්‍යාපනය යනු දැරිය නොහැකි වියදමක් වී ඇත. එම නිසා මේ සඳහා රජයේ අවධානය ද යොමුවීම යෙහෙකැයි මම සිතමි. නමුත් සිය සැබෑ ආර්ථික තත්ත්වය සහතික කර ගමේ පාසල වෙත දරුවා යැවීමටවත් දෙමාපියන් උත්සාහ දැරිය යුතුයි.
ළමා මව්වරුන් යන සංකීර්ණ වදන් අද සමාජයේ ඛේදනීයම පැතිකඩක් විවර කරයි. ළමා මව්වරුන් යනු වයස අවුරුදු 16ට අඩු ගැබිණියන් හා මව්වරුන්ය. ශ්‍රී ලංකාවේ නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවෙකු සිය කැමැත්ත ඇති ව ලිංගිකව එක්වීම හෝ අකමැත්තෙන් ලිංගික අපචාරයේ යෙදවීම ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකේ. සිය සහෝදරයා අතින් කෙලසුන වයස අවුරුදු 11ක ළමා මවක් පිළිබඳව ළමා ආරක්ෂණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (නීති) ප්‍රීතිකා සකලසූරිය මහත්මිය අප සමඟ වදන් ගොනු කළාය. එවැනි ළමා මව්වරුන් බොහෝ සංඛ්‍යාවක් පිළිබඳ පැමිණිලි ළමා ආරක්ෂණ අධිකාරියට ලැබී ඇතැයි ඇය අප හා පැවසුවාය. මෙහිදී ඇය තවදුරටත් කියා සිටියේ, වාර්තා වන මෙවැනි පැමිණිලි සංඛ්‍යාවට වඩා වාර්තා නොවන මෙවැනි සිද්ධීන් සමාජය තුළ ඕනෑතරම් තිබෙන බවයි. සිදු කළ පර්යේෂණයකට අනුව බාලවයස්කාර විවාහ බොහෝවිට සිදු ව ඇත්තේ විවාහ ලියාපදිංචියේ දී ව්‍යාජ වයසක් සඳහන් කරමින්ය. එසේම බොහෝවිට බාලවයස්කාර ගැබිණියන් සිය දරු ප්‍රසූතියේ දී රෝහල වෙත ලබා දෙන්නේ ද ව්‍යාජ වයසක් බැවින් එවැනි සිද්ධීන් වාර්තා වීම ඉතා අවම ප්‍රතිශතයක් ගන්නා බව සහකාර අධ්‍යක්ෂවරිය අප හා පැවසුවාය.
ලිංගිකත්වය පිළිබඳව හැඟීම් ඇතිවීම ස්වභාවික ධර්මතාවකි. එහෙත් මිනිසා එකී හැඟීම් සන්තර්පණය කර ගැනීම උදෙසා සකස් කරගනු ලබන මාවත් සමාජයීය සදාචාර සීමාවන් ඉක්මවා නොයා යුතුය. විවාහය ලිංගිකත්වය නිදහසින් හා උපරිමයෙන් භුක්ති විඳීම උදෙසා ලැබෙන නීත්‍යනුකූල බලපත‍්‍රයකි. එහෙත් අද පවුල් සංස්ථාව මහත් වූ දෙදරා යාමකට බඳුන් වී ඇත. අනියම් සබඳතා ඇතිවීම මෙහි එක් ප‍්‍රධාන සාධකයකි. ඇතැම් විට විවාහක පුරුෂයන් තම දියණියගේම වයසේ ළාබාල දැරියන් සමඟ සබඳතා ගොඩනඟා ගන්නා අවස්ථා සමාජය තුළ අසන්නට දකින්නට ලැබේ. මෙම අනියම් සබඳතාවල පදනම ඍජුවම ලිංගිකත්වයයි. දුෂණ හා ඝාතන මෙම බැඳීම්වල අවසන් ප‍්‍රතිඵලය බවට පත් වන අවස්ථා අද සමාජයේ සුලබය.
එපමණක් නොව පවුල් සංස්ථාව තුළ බිරිය හා සැමියා වෙතින් සපුරාගත නොහැකි වූ කායික හා මානසික තෘප්තිය වෙනත් ගැහැනියක හා පිරිමියක වෙතින් තෘප්ත කර ගැනීමට යාමේ එක් ප‍්‍රතිඵලයක් වන්නේ දරුවන්ට හිමිවිය යුතු මව්පිය රැකවරණය, ආදරය හා සැලකිල්ල අහිමි වී යාමකි. ඒ අනුව හුදෙකලා වන දරුවන් අහිමි වන ආදරය සමාජයේ වෙනත් පාර්ශව වෙතින් සොයාගෙන යාමට පෙළඹීම ද, ආදරය යැයි සිතා පටු ලිංගික පරමාර්ථ ඇති පුද්ගලයන් ළඟ අතරමංවීම ද ළමා අපයෝජන හා දූෂණ ඇතිවීමට ප‍්‍රබලව තුඩුදෙන තවත් හේතුවකි.
ෆේස් බුක් (මුහුණුපොත) වැනි සමාජ වෙබ් අඩවි, ස්කයිප් වැනි අන්තර්ජාල ක්‍රියාකාරකම් ඔස්සේ මිතුරු සබඳතා ගොඩනගා ගැනීටම අද පාසල් දරුවන්ගේ පටන් වියපත් පුද්ගලයන් දක්වා ම විවිධ පාර්ශව දැඩි ලෙස ඇබ්බැහි වී සිටිති. බොහෝ අවස්ථාවල පමණ හා සීමාව ඉක්මවා යන මෙවැනි සබඳතා කෙළවර වන්නේ අනියම් සබඳතා ගොඩනඟා ගනිමිනි. විශ්වසනීයත්වයක් තහවුරු කර නොගෙන විශේෂයෙන් ළාබාල යුවතියන් මෙවැනි සබඳතා ගොඩනගා ගැනීම ඔවුන්ගේ අනාගතය කෙරෙහි අයහපත් ලෙස බලපෑ සිදුවීම් මෑතකාලීනව බොහෝ වාර්තා විය. ෆේස්බුක් පෙම්වතකු ඉදිරියේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරුවත් වූ යුවතියකට අවසානයේ සිදුවූයේ ඇගේ නිරුවත අන්තර්ජාලයට මුදාහරින බවට කළ බියවැද්දීම් හමුවේ සියදිවි නසා ගන්නටය.
මෙය සත්‍යවශයෙන්ම ඛේදනීය තත්වයකි. ආකල්පමය වශයෙන් සමාජය පරිවර්තනයකට ලක්විය යුතු තීරණාත්මක ප‍්‍රවේශයකට අද අපි අවතීර්ණ වී සිටිමු. ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැත. එහෙත් එය ප‍්‍රායෝගිකත්වය මත යථාර්ථයක් බවට පත්කර ගැනීම සරල පහසු කරුණක් වන්නේද නැත. ඒ සඳහා දරුවන් වෙනුවෙන්, දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දරුවන්ට සිදුවන අපයෝජන, දුෂණ හා සියලු නොපහත්කම්වලට එරෙහිව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, ළමා කටයුතු අමාත්‍යංශය ඇතුළු ව රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවත් ක්‍රියාත්මක වෙයි. එතැනින් නොනැවතී අප ලාංකීය සමාජයේ හර පද්ධතිය ඉදිරියට ගෙන යමින් සදාචාරවත් අනාගතයක් ගොඩනැගීමට අනාගත පරම්පරාව ආරක්ෂා කිරීමට සෑම ආගමික පූජ්‍ය පක්ෂය ද ඇතුළුව ළමයින් වශයෙන් ඔවුන්ටත්, දෙමාපියන් සහ වැඩිහිටියන් යන සමාජයේ සෑම භූමිකාවකටම ඒ සඳහා නිසි වගකීමක් ඇත.
දැනට ලංකාවේ නොමැති ළමා ආරක්ෂණ යාන්ත්‍රණයක් ගෙන ඒමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ක්‍රියාත්මක වෙමින් සිටින බවට එහි සභාපතිනී නටාෂා බාලේන්ද්‍ර මහත්මිය අප පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළාය. පළාත් 9 හි පළාත් සභා
හා සෞඛ්‍ය, සමාජ සේවා, අධ්‍යාපන, සමාජ සේවා ඇතුළු අන්තර්-අමාත්‍යංශ සමඟ මෙම යාන්ත්‍රණය පිළිබඳව කතිකාවක් ගොඩනගාගෙන ළමා ආරක්ෂණය සම්බන්ධ නීති රෙගුලාසි හා පනත් තවදුරටත් සංශෝධනයකට ලක්කර මෙම ආයතන සමඟ එකට ක්‍රියාත්මක වීමට ද මේ තුළින් අපේක්ෂා කර බව ඇය පැහැදිලි කළාය. මේ පිළිබඳව ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය සමඟ සාකච්ඡා කර මූලික සැලසුම් සකසා ඇති බවත් ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා හා සමඟ ද සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාව ඉදිරිපත් කරන බවත් නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.
සෑම පොලිස් ස්ථානයක් තුළ ම ඇති ළමා හා කාන්තා ඒකක විධිමත් ලෙස වෙන්කර ළමා පැමිණිලි සම්බන්ධ වෙනම ඒකක පිහිටුවා ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි විභාග කිරීම කාර්යක්ෂම කිරීමටත් ප්‍රාදේශීය වශයෙන් මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීම පහසු කිරීමටත් කටයුතු සැලැස්වීමට ද අපේක්ෂා කරන බව නටාෂා බාලේන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.
ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ප්‍රධාන වශයෙන් පවතින්නේ දෙමාපියන් මතය. පවුල් සංස්ථාව මත විවෘත සහයෝගි පදනමක් ඇති කිරීම මෙහිදී මූලිකව සිදු විය යුත්තකි. ළමා අපයෝජනය වැලැක්වීමට හරවත් පවුල් පද්ධතියක් නිර්මාණය කර ඒ තුළ ළමයා සුරක්ෂිත කරවීම සඳහා ප්‍රාදේශීය වශයෙන් පවුල් දැනුවත් කිරීමට උපදේශන සේවා වැඩසටහන් සංවිධානය කිරීමට ද ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන ඇත. සංකීර්ණ අධ්‍යාපනික, තාක්ෂණික ලෝකය තුළ ළමයාගේ හා ගුරුවරයාගේ භූමිකාව සහ ළමා අපයෝජන
වැලැක්වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා පාසල් තුළ ද වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටියි.
මෙහිදී ආගමික නායකයන්ට කි‍්‍රයාකාරී මෙහෙවරක් මෙහිලා ඉටුකළ හැකිය. එමෙන්ම තාක්‍ෂණය හා එහි නව ප‍්‍රවණතා සමාජයීය අභිවෘද්ධිය පිණිස මිස විනාශය පිණිස යොදා නොගැනීමට සමාජය බුද්ධිමත් විය යුතුය. සමාජය තුළ විවිධ භූමිකා රඟ දක්වන අප කාගේත් වගකීම වන්නේ ළමා අපයෝජනයක් සිදු වන්නේ නම් ඊට විරුද්ධව නැගී සිටීමයි. ඒ සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය, පොලිසිය වැනි නීතිය ක්‍රියාත්මක කළ හැකි ආයතන සමාජයට සහය වීමට බැඳී සිටියි. මහා මාර්ගයේ, ප්‍රවාහන සේවයේ, ගමේ, නගරයේ, පාසලේ, ආගමික ස්ථානයේ, ඕනැම ආයතනයක, අසල්වැසි නිවසේ හෝ ඔබේම නිවසේ ළමයෙකුගේ ආරක්ෂාව ගිලිහෙන, ළමා අපයෝජනයක් සිදුවන ඕනෑම අවස්ථාවක දී 1929 දුරකතන අංකයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට අමතා පැමිණිලි කළ හැකිය. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සේවකයින් පැය 24 පුරාම ඒ සඳහා රාජකාරියේ නිරතව සිටියි.
- ශෂිනි දිලේෂා ප්‍රනාන්දු