මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සිදුකළ සමාලෝචනයට අදාළ වාර්තාව අද (06) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත ලබා දෙන ලදී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී එම වාර්තාව නිල වශයෙන් භාරදෙන ලදි.
"ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් සඳහා පදනම ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පරිවර්තනය කිරීම" ("Transforming Primary Health Care as the Foundation for Healthier Communities in Sri Lanka") යනුවෙන් සමාලෝචන වාර්තාව හඳුන්වා තිබුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම පසුගිය මස 20 සිට 24 දින දක්වා මෙරට නිල සංචාරයක නිරත වෙමින් සමාලෝචන කටයුතු සිදු කරන ලදි.
විශේෂඥ නියෝජිත පිරිස රත්නපුර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන "ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන" (Arogya Health and Wellness Centers) සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන ද නිරීක්ෂණයට ලක් කර ඇත.
එම නිරීක්ෂණය කටයුත්තේ දී ප්‍රජා මට්ටමින් සෞඛ්‍ය සේවා සැපයීමේ සැබෑ තත්ත්වය පිළිබඳව සෘජු අත්දැකීම් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වූ අතර ලබාගත් දත්ත සහ නිරීක්ෂණ පදනම් කරගනිමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ තොරතුරු සහ නිර්දේශ ද මෙම වාර්තාවට ඇතුළත්ව ඇත.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. සරත්චන්ද්‍ර කුමාරවංශ, ශ්‍රී ලංකා රජයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය උපදේශකවරයෙකු වන පාලිත අබේකෝන් යන මහත්වරුන් එක්ව සිටියහ.


