පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය කොළඹදී

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය කොළඹදී
  • SocialShare:

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ 2022 වසරේ සිට මෙතෙක් පවත්වනු ලැබූ ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර පාඨමාලා සාර්ථකව අවසන් කළ නිලධාරීන්ට සහ මහජන නියෝජිතයන්ට  ඩිප්ලෝමා හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අද (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

එම උත්සවය පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අද (06) දින පැවැත්වුණු මෙම උත්සවයේදී පළාත් පාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, ප්‍රජා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, පළාත් පාලන මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව සහ පළාත් පාලන නීතිය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කළ 200කට ආසන්න පිරිසකට සහතිකපත්‍ර ප්‍රදානය කෙරිණි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පවතින  පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතන 1999 අංක 31 දරණ පනත යටතේ ස්ථාපිත කර ඇත. මෙය ලංකාවේ පළාත් පාලන ආයතනයන් සඳහා පුහුණුව සපයන එකම ජාතික ආයතනය වේ.

මෙම ආයතනය , පළාත් පාලන නිලධාරීන් සහ මහජන නියෝජිතයන්ට ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර පාඨමාලා මෙන්ම කෙටිකාලීන පුහුණු වැඩසටහන් සංවිධානය කරන අතර පළාත් පාලන ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ කටයුතු සිදු කිරීම, ජාත්‍යන්තර පර්යේෂණ සමුළු සංවිධානය කිරීම සහ වාර්ෂික සඟරා ප්‍රකාශයට පත් කිරීමද සිදු කරනු ලබයි.