ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සහ සැපයුම් අංශයට WEAIR පැමිණීම, රටේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව සහ කලාපීය සම්බන්ධතාවය ශක්තිමත් කරන සැලකිය යුතු ආයෝජනයක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලක්සම්බර්ග් ආයෝජනයකින් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට පසුගියදා එක්වෙමිනි.
WEAIR දකුණු ආසියාව, නිරිතදිග ආසියාව සහ ඉන්දියානු සාගර කලපයේ මෙන්ම මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ ප්‍රධාන ගමනාන්ත සමඟ කොළඹ සම්බන්ධ කරන ශ්‍රී ලංකාව පදනම් කරගත් භාණ්ඩ ගුවන් සේවයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත වේ.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආර්ථික විභවය සහ උපායමාර්ගික පිහිටීම කෙරෙහි වර්ධනය වන ජාත්‍යන්තර විශ්වාසය පිළිබිඹු කරන බව ද උත්සවය අමතමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන් ම භාණ්ඩ ප්‍රවාහන සේවය, වෙළඳාම, අපනයන, සංචාරක ව්‍යාපාරයට අදාළ සැපයුම් දාමය සහ කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අරමුණට සහාය වනු ඇති බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. රැකියා අවස්ථා උත්පාදනය කිරීම සහ ගුවන් සේවා සහ සැපයුම් අංශයේ දියුණුවට දායක වීම සඳහා සමාගමට ඇති හැකියාව ද අමාත්‍යවරයා එහිදී අගය කළේය.
මෙම අවස්ථාවට WEAIR නියෝජිතයින්, ආයෝජකයින්, කර්මාන්තයේ පාර්ශවකරුවන් සහ ගුවන් සේවා සහ සැපයුම් අංශවල නියෝජිතයින් ද සහභාගී විය.


