2024 වසරේදී 311,000 ක් වූ විදේශ රැකියා ප්‍රමාණය 2025 වසරේ දී සියයට 12ක් වැඩිකරමින් ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළ දී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ, ඊයේ (23) පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනෙ දී ය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නියාමනයන් සිදුකර නිවැරදිව රැකියා සදහා ජනතාව විදේශගත කළ යුතු බවත්, කාර්යාංශයේ නීති රෙගුලාසිවලට යටත්ව නිරතුරුවම කාර්යාංශයේ අභිමානය ද රැකගෙන කටයුතු කළ යුතු බවත් ය.
එමෙන්ම, විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් ඒජන්සි ආයතන වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවත්, මුදලට නොව මනුෂ්‍යත්වයට මුල්තැන ලබාදෙමින් ව්‍යාපාරයන් හි නිරතවන ලෙසත් එය විදේශ රැකියා ක්ෂේත්රයේ උන්නතිය උදෙසා දැඩි බලපෑමක් කරනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නව විදේශ රැකියා වෙළඳපොල අවස්ථාවන් සොයාගැනීමේ දී විදේශ රැකියා නියෝජිතායතන ලබාදෙන සහයෝගය ඉතා අගය කළ වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ගැටලු කඩිනමින් නිරාකරණය කරගැනීම සඳහා කාර්යාංශය උපරිම සහයෝගය ලබාදෙන බව ද සඳහන් කළේය.
මෙහි දී කාර්යාංශයේ කටයුතු පිළිබඳ, කාර්යාංශය මගින් ලබාදෙන්නා වූ අනුමැතීන්, ලබාදෙන පුහුණු හා කාර්යාංශ පනත ආදී කරුණු රැසක් පිළිබඳව ද රැකියා ලාභීන් දැනුවත් කරන ලදි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සුදුසුකම් ලැබූ නව රැකියා නියෝජිතයින් 30දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී විය.