“සිරිමුතු උයන” මහල් නිවාස සංකීර්ණයට ‘Metro Uplift’ වැඩසටහන හඳුන්වා දෙයි

“සිරිමුතු උයන” මහල් නිවාස සංකීර්ණයට ‘Metro Uplift’ වැඩසටහන හඳුන්වා දෙයි
  • SocialShare:

තමා ජීවත්වන නිවහන ආරක්ෂාවෙන් සහ පහසුකම්වලින් යුත් වාසස්ථානයක් බවට පරිවර්තනය කිරිම සඳහා‘Metro Uplift’ වැඩසටහන ආරම්භ කළ බවත් කොළඹ 14, ‘සිරිමුතු උයන’ නිවාස සංකීර්ණයටත් මෙම නිවාස වැඩසටහන හඳුන්වාදෙන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

‘සිරිමුතු උයන’ නිවාස සංකීර්ණයේ ‘Metro Uplift’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ මහල් නිවාස කමිටු සාමාජිකයින් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (07) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදි පැවැත් වුණු අතර එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ‘Metro Uplift’ ජාතික වැඩසටහන පසුගියදා ආරම්භ කෙරිණ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකර ඇති  මහල් නිවාස සංකීර්ණ 24 හි නිවාස ඒකක 14,714 ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

‘සිරිමුතු උයන’ නිවාස සංකීර්ණය නිවාස ඒකක 546කින් සමන්විත වන අතර, වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 300 කට ආසන්න වියදමින් මෙම නිවාස සංකීර්ණයේ හානිවූ විදුලි සෝපාන සහ ගිනි නිවන උපකරණ අලුත්වැඩියා කෙරේ. වෙළඳසැල් සඳහා විදුලි සහ ජල සම්බන්ධතා සකස් කිරීම, පොළොව ගිලා බැසූ ස්ථාන අලුත්වැඩියා කිරීම, අපද්‍රව්‍ය සහ මළ අපවහන නල මාර්ග සහ වැසි ජල අපවහන නල මාර්ග අලුත්වැඩියා කිරීම, සහ ආරක්ෂිත මායිම් වැට ඉදිකිරීමද සිදු කෙරේ.

සමාජ සජීවීකරණ වැඩසටහන යටතේ, ප්‍රජාමූල අනුකමිටු පිහිටුවීම, පොදු දේපළ ආරක්ෂා කිරීම, මූල්‍ය කළමනාකරණ කුඩා කණ්ඩායම් වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු, ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්, අපද්‍රව්‍ය කළමනාකරණ හා පරිසර කමිටු, පූර්ව ළමාවිය හා තරුණ/ළමා පෞරුෂ සංවර්ධන වැඩසටහන්, පුස්තකාල සහ ප්‍රජා සම්පත් මධ්‍යස්ථාන, අධ්‍යාපන දැනුම්වත් කිරීමේ වැඩසටහන්, වෘත්තීය පුහුණු වැඩසටහන්, ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන්, මූල්‍ය ණය පහසුකම් සහ වෙළඳපොළ හඳුන්වා දීම, සංස්කෘතික හා සෞන්දර්ය කුසලතා වැඩසටහන්, ආගමික හා ආධ්‍යාත්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම, ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ ඒකාබද්ධව ස්ථිර සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සහ ආරක්ෂක සේවාවක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මෙහිදී කියා සිටියේ:

“බිත්ති හයක කොටුවක් තුළ ජීවත්වන ඔබගේ ජීවන තත්ත්වය උසස් කිරීමට දරන වෑයමක් මෙයයි. එකම රටේ ජනතාවක් අපාර්ට්මන්ට් පහසුකම් සහිත නිවාසවලත්, අඩු ආදායම් ලේබලයෙන් මහල් නිවාසවලත් දිවි ගත කරයි. මෙවැනි අසමතුලිතතාවය වෙනස් කළ යුතුය. ‘Metro Uplift’ වැඩසටහනෙන් ඔබ ජීවත්වන අපාය ආරක්ෂිත සහ පහසුකම් සහිත වාසස්ථානයක් බවට පරිවර්තනය කිරීමට අපි කටයුතු කරනවා.”

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එම්. ජී. හේමචන්ද්‍ර, අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු දමිත් දිසානායක, සභාපති අසංක අබේවර්ධන, විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් රණවීර, සහ මහල් නිවාස පදිංචිකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.