වර්තමානයේ පවතින අභියෝග ජය ගැනීමට ඩිජිටල්කරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වන අතර මෙම නවීකරණ වැඩපිළිවෙළ හරහා රජයේ ප්‍රධාන ඉලක්කයක් වන රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සඳහා සෘජු දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ ශ්‍රී ලංකාවේ පැරණිතම රාජ්‍ය ආයතනයක් වන රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ 161 වන අභිමානවත් සංවත්සරයට සමගාමීව, මහජන සේවා නවීකරණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කිරීම සහ නවීකරණය කළ නිල වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.
රට සහ ලෝකය මුහුණ දෙන ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම වැනි විවිධ අර්බුද හමුවේ පීඩාවට පත් ජනතාවට, දුර බැහැර සිට කාර්යාල වෙත පැමිණ පෝලිම්වල රැඳී සිටීම වෙනුවට නිවසේ සිට ම සේවා ලබා ගැනීමට මෙයින් අවස්ථාව සැලසෙන බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
මෙම අවස්ථාවට සහභාගී වූ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අදහස් දක්වමින් කියා සිටියේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යනු හුදු රජයේ කාර්යාලයක් නොවන බවත්, මෙරට පුරවැසියෙකුගේ උපතේ සිට මරණය දක්වා වන ලිඛිත ඉතිහාසය සහ නීත්‍යානුකූල අනන්‍යතාව සුරක්ෂිත කරන ස්ථානය බවත් ය.
මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා නවීන තාක්ෂණය භාවිත කරමින් මෙම ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම තොරතුරු ලබාගත හැකි, පරිශීලක හිතකාමී වෙබ් අඩවියක් ද හඳුන්වා දී තිබේ.
රාජ්‍ය සේවය සහ මහජනයා අතර පවතින සන්නිවේදන පරතරය හේතුවෙන් බොහෝ දෙනා අතරමැදියන්ගේ ග්‍රහණයට හසුවන බවත්, එය ලේඛනවල නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලු ඇති කරන බවත් මෙහිදී අනාවරණය විය. 1930 අංකය සහ නව වෙබ් අඩවිය හරහා නිවැරදි තොරතුරු සෘජුව ලබා දීමෙන් එවැනි වංචනික ක්‍රියාකාරකම් බැහැර වන විනිවිද පෙනෙන සේවාවක් සැපයීමට පියවර ගෙන තිබේ.
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට දරු උපත් ලියාපදිංචිය, විදේශිකයන් සමඟ විවාහ වීම සහ දේපළ කටයුතු වලදී මුහුණ දෙන ගැටලුවලට මෙම නව ඇමතුම් මධ්‍යස්ථානය සහ වෙබ් අඩවි හරහා විසඳුම් ලබා දීමට සැලසුම් කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ශ්‍රීලංකාවේ රාජ්‍ය පරිපාලන පද්ධතිය තුළ සිදුවන නව තාක්ෂණික පරිවර්තනයක ආරම්භයක් සනිටුහන් කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා හා රෙජිස්ට්‍රාර් ජනරාල් එස්. ජලදීපන් මහත්මිය ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


