මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නෑ - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නෑ - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත්, ලබන වසරේ සිට මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරා ගැනීම වෙනුවෙන් සියලු පියවර ගන්නා බවත්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (26) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.

මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් රට පුරා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ පූර්ණ මැදිහත්වීම අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගරය මත්ද්‍රව්‍ය උවදුර වැඩිම නගරයක් බවත්, පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වී ඇති බවත්, ඔවුන්ව බේරා ගැනීම රජය සතු වගකීමක් බවත්, ලබන වසරේ දී මත්ද්‍රව්‍ය උවදුර කොලොන්නාව නගරයෙන් සහමුලින්ම ඉවත් කළ යුතු බවත්, ඒ මහතා පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සැපයුම්කරුවන් සොයා වැටලීම් සිදුකර ඔවුන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් පසුවිපරම් සිදු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන්ම, ප්‍රජා පොලිස් කමිටු ප්‍රතිව්‍යුහගත කිරීමට අවධානය යොමුව ඇති බවත්, ජනවාරි මුල් සති දෙක තුළ දී එම කටයුතු අවසන් කළ යුතු බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.