ඩුබායි හි පැවැත්වෙන ලොව විශෘලතම ආහාරපාන ප්‍රදර්ශනයක් වන Gulfood 2026 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටියක් ඉදි කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මෙම ප්‍රදර්ශනය ජනවාරි 26 සිට ජනවාරි 30 දක්වා පැවැත්වෙන අතර එය ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානය (Dubai Exhibition Centre) සහ ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය (Dubai World Trade Center) යන පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. එසේම රටවල් 195 කින් ප්‍රදර්ශකයින් 8,500 කට අධික පිරිසක් සහභාගී වන මෙහි නිෂ්පාදන මිලියන 1.5 ක් ක්ෂේත්‍ර 12 ක් යටතේ ප්‍රදර්ශනය කෙරේ.
ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා මණ්ඩපය වර්ග මීටර් 510 ක විශාලත්වයකින් යුක්ත වන අතර, එය මෙතෙක් ශ්‍රී ලංකාව සංවිධානය කළ විශාලතම B2B මණ්ඩපය ද වේ.
මෙවර සහභාගී වන අපනයන සමාගම් 61 අතරින් සමාගම් 33 ක්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) වන අතර, එය සමස්ත සහභාගීත්වයෙන් 50% කට ආසන්න ප්‍රමාණයකි. මෙමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
එසේම නරඹන්නන් හට උසස් තත්ත්වයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, තේ, සහ නව්‍ය ක්ෂණික ආහාර (ready-to-eat) පිළීබඳව තොරතුරු ලබා ගැනීමටද මෙහිදී අවස්ථාව ලැබේ.
ප්‍රදර්ශනය හරහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමඟ සෘජුව සම්බන්ධ වෙමින්, විශ්වාසදායක සහ නවෝත්පාදන ආහාර සැපයුම්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා තවදුරටත් තහවුරු කිරීමට මෙම ප්‍රදර්ශනය හරහා අපේක්ෂිතය.


