ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකය ලෙස 1926 වසරේදී ආරම්භ වූ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (National Institute of Health Service - NIHS) ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සිය අභිමානවත් 100 වැනි සංවත්සරය සනිටුහන් කරයි.
ලක්වැසි ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් නිහඩ මෙහෙවරක යෙදුන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) සිය අභිමානවත් 100 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පවත්වනු ලබන ශතසංවත්සර (Centenary Congress) සැමරුම් මහෝත්සවය හෙට, එනම් 2026 ජූලි මස 01 වැනිදා පස්වරු 4:00 ට කළුතර පිහිටි එම විද්‍යායතන ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම ශතසංවත්සර සමාරම්භක උළෙලේදී විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කෙරෙන අතර, ආයතනයේ වසර 100ක ගමන් මඟ ඇතුළත් "Legacy of a Centenary" නමැති සුවිශේෂී ග්‍රන්ථය (Coffee Table Book) එළිදැක්වීම සිදුවේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම් උළෙල, ශ්‍රී ලංකාවේ පොදු ජන සෞඛ්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.
රොක්ෆෙලර් පදනමේ (Rockefellr Foundation) සහයෝගීතාවයෙන් 1926 ජූලි 1 වන දින වෛද්‍ය එස්. එෆ්. චෙල්ලප්පා සහ වෛද්‍ය ඩබ්. පී. ජැකොක්ස් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය ඒකකය (Health Unit) ලෙස කළුතර දි ආරම්භ කෙරිණි. රෝග සුව කිරීමට පමණක් සීමා නොවී, රෝග වළක්වා ගැනීමේ ප්‍රජා මූලික සෞඛ්‍ය ක්‍රමවේදයක් (Preventive Healthcare) රටට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ මෙම ආයතනයටයි. පසුව, වසර 100 ක කාලය තුළ ලංකාව පුරා ව්‍යාප්ත වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ක්‍රමවේදයේ මූලාරම්භය වූයේද මෙම කළුතර ආදර්ශ සෞඛ්‍ය ඒකකයයි.
1979 ජූලි 01 දින මෙම ආයතනය "ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS)" ලෙස ප්‍රතිසංවිධානය කෙරුණු අතර, එතැන් සිට මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI), පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (PHM) සහ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියන් පුහුණු කරන ප්‍රධානතම ජාතික මධ්‍යස්ථානය බවට පත්විය.
එසේම, භූතානය, නේපාලය, බංග්ලාදේශය, මාලදිවයින වැනි කලාපීය රටවල සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කරන ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස ද මෙම ආයතනය ක්‍රියා කරන අතර, 2012 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල සහයෝගීතා මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
හෙටට යෙදෙන සියවස් සැමරුමට සමගාමීව 2026 ජූලි මාසය පුරා ජාතික මට්ටමේ විශේෂ වැඩසටහන් මාලාවක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සංවිධානය කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්, පර්යේෂකයන් සහ කළමනාකරුවන්ගේ සහභාගිත්වයෙන් නව සෞඛ්‍ය ප්‍රවණතා සහ පර්යේෂණ පිළිබඳ සාකච්ඡා කිරීම, කළුතර නගර මධ්‍යයේ සිට ජාතික සෞඛ්‍ය විද්‍යායතනය දක්වා නිලධාරීන්, ආදි ශිෂ්‍යයන් සහ ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පාගමනක් පැවැත්විම, දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම මෙන්ම මහජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද නියමිතය. වසර සියයක සෞඛ්‍ය ඉතිහාසය විදහා දක්වන නවීකරණය කරන ලද NIHS කෞතුකාගාරයද විවෘත කෙරෙන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. නන්තකුමාරන් (Dr. Nanthakumaran) මහතා පවසයි.


