“ප්‍රජාශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ 2026 වසරේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

“ප්‍රජාශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ 2026 වසරේ ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

වර්ෂ 2030 වනවිට 2025 වසරට සාපේක්ෂව බහුමාන දරිද්‍රතාවය ඒකක 05කින් අඩු කිරීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින්, “ප්‍රජාශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

එම ව්‍යාපාරය යටතේ සමාජ පරිසරය, ආහාර සුරක්ෂිතතාව, මානව සම්පත් සංවර්ධනය, රැකවරණය, නිෂ්පාදන ආර්ථිකය සහ සැපයුම් ජාල හා ප්‍රවේශය යන ප්‍රධාන ක්ෂේත්‍ර 06ක් ආවරණය වන පරිදි, ප්‍රජා සංවර්ධන සභා මගින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති යෝජනා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වල නිර්දේශ සහිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙලෙස හඳුනාගනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2026 වර්ෂයේ අයවැය මගින් රුපියල් බිලියන 25ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එයින් රුපියල් බිලියන 23ක් දිස්ත්‍රික් මට්ටමේ ව්‍යාපෘති සඳහාත්, ඉතිරි රුපියල් බිලියන 02ක් ජාතික මට්ටමේ මධ්‍ය පරිමාණ ව්‍යාපෘති, පුහුණු වැඩසටහන් සහ පර්යේෂණ කටයුතු සඳහාත් යොදා ගැනීමට අපේක්ෂා කර ඇත.

හඳුනාගනු ලබන ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සහ විධිමත්ව සිදු කිරීම සඳහා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය හා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව එක්ව සකස් කළ මාර්ගෝපදේශ අනුගමනය කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිල මහතා  ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත.