ශ්‍රී ලංකාවේ දැවැන්ත පරිසර ගැටලුවක් බවට පත්ව ඇති 2D පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන සහ නිෂ්පාදකයින් ඒකාබද්ධ වන විස්තීරණ නිෂ්පාදක වගකීම් (Extended Producer Responsibility - EPR) සහ නැවත එකතු කිරීමේ (Collect-back) උපායමාර්ගික ආකෘතිය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (11) කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කෙරුණු අතර, මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිත ය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, වර්තමානයේ ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හේතුවෙන් දිගුකාලීනව සිදුවන මරණ සංඛ්‍යාව යුද්ධයකින් හෝ බෝ නොවන රෝගවලින් මියයන සංඛ්‍යාවට වඩා වැඩි විය හැකි බවයි. "අතීතයේදී අපේ සමාජය ස්වභාවික ද්‍රව්‍යවලින් කළ ඇසුරුම් භාවිතා කළත්, පසුගිය දශක කිහිපය තුළ වැඩි වශයෙන් ප්ලාස්ටික්වලට හුරුවීමෙන් විශාල පාරිසරික හා සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටිනවා" යැයි ඔහු පවසා සිටියේ ය.
ප්ලාස්ටික් භාවිතය පිළිබඳ වර්තමාන තත්ත්වය සලකා බැලීමේදී වාර්ෂික ප්ලාස්ටික් ජනනය මෙට්‍රික් ටොන් මිලියන 1.6කට වඩා වැඩි ය. දෛනික අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 938ක් පමණ වේ. පරිසරයෙන් එකතු කරගන්නේ 32%ක් පමණි. ප්‍රතිචක්‍රීකරණය ලක් වන්නේ සමස්ත අපද්‍රව්‍යවලින් සිදුවන්නේ 4%ක් වැනි සුළු ප්‍රමාණයකි. මෙම අසමතුලිතතාවය හේතුවෙන් ජාත්‍යන්තර දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව සාගර ප්ලාස්ටික් දූෂණයට වැඩි ම දායකත්වයක් සපයන රටවල් අතරට පත්ව තිබීම කණගාටුදායක තත්ත්වයක් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අනුරාධපුර යුගයේ පණ්ඩුකාභය රජු විසින් කසළ කළමනාකරණය සඳහා විශේෂ කණ්ඩායම් පත්කළ ඉතිහාසය සිහිපත් කළ අමාත්‍යවරයා, බෞද්ධ දර්ශනයේ එන "වනරෝප සූත්‍රය" මගින් පරිසර සංරක්ෂණය දිවා රෑ පින් වැඩෙන ක්‍රියාවක් ලෙස දක්වා ඇති බව අවධාරණය කළේ ය. එදා පන් මලු සහ ස්වභාවික ඇසුරුම් භාවිත කළ සමාජය, අද "පහසුව සහ ලාභය" පසුපස හඹා යෑමෙන් පරිසරයට සිදු කර ඇති හානිය අප්‍රමාණ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන්න යථාර්ථයක් කිරීමට නම් ප්ලාස්ටික් උවදුරුවලින් තොර සුන්දර පරිසරයක් අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා සිය දේශනයේදී අවධාරණය කළ අතර මෙය හුදු සටන් පාඨයකට සීමා නොවී, ආයතනික සම්බන්ධීකරණය, නිෂ්පාදකයින්ගේ කැපවීම සහ මහජනතාවගේ හැසිරීම් රටාවේ වෙනසක් සහිත සැබෑ "සිස්ටම් චේන්ජ්" (System Change) එකක් විය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
මෙම අවසථාවට සහභාගී වූ වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශෙය් අතිරේක ලේකම් එම්. කොඩිප්පිලි ආරච්චි, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ, ජාතික ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ආධාරක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉංජිනේරු පුෂ්ප කුමාර, ශ්‍රී ලංකා පාරිසරික වෘත්තිකයින්ගේ ආයතනයේ සභාපති අසේල ඉද්දවෙල, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් විශාල පිරිසක් සහභාගී වී සිටිය හ.


