ශ්‍රී ලංකා ගුවන් හමුදා විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගී වේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගී වේ
  • SocialShare:

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ඊයේ (16) දින පැවති පුහුණුව ලත් කැඩෙට් නිලධාරීන් අධිකාරී ලත් නිලධාරීන් ලෙස විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගි විය.

එම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක ලේකම්වරයා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

එහිදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අංක 37 බඳවා ගැනීමේ පාඨමාලාවට අයත් කැඩෙට් නිලධාරියෙකු, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අංක 39 බඳවා ගැනීමේ පාඨමාලාවට අයත් කැඩෙට් නිලධාරීන් 13 දෙනෙකු සහ කාන්තා කැඩෙට් නිලධාරිනියන් දෙදෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදා බඳවා ගැනීමේ 66 වන පාඨමාලාවට අයත් කැඩෙට් නිලධාරීන් 10 දෙනෙකු, 67 වන පාඨමාලාවට අයත් කැඩෙට් නිලධාරීන් 45 දෙනෙකු සහ 19 වන කාන්තා කැඩෙට් නිලධාරී පාඨමාලාවට අයත් කැඩෙට් නිලධාරිනියන් 13 දෙනෙකු ඇතුළුව 84 දෙනෙකු සිය පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු පයිලට් ඔෆිසර් නිලයෙහි අධිකාරී ලත් නිලධාරීන් ලෙස සේවයට එක් වූහ.

තවද අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් ලෙස පුහුණුව අවසන් කල අංක 102 පියාසර පුහුණු පාඨමාලාවේ නිලධාරීන් 10 දෙනෙකු වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පියාසර ලාංජන පැළඳවීම ද සිදු කෙරිණ.

ත්‍රිවිධ හමුදාවේ අති විශිෂ්ඨ සේවය ප්‍රශංසාවට ලක් කරමින් අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා සියලු ශ්‍රී ලාංකික ජනතාවගේ අනාගත යහපැවැත්ම උදෙසා තම ජිවිත පරිත්‍යාග කල මෙන්ම විවිධ ආබාධිත තත්වයන්ට පත්ව සිටින අභීත රණවිරුවන් හට අපගේ උත්තමාචාරය හිමි විය යුතු බව ද ගෞරවයෙන් සිහිපත් කළේය.

විසිර යන නිලධාරින් දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වන්නේ අපගේ ආදරණීය මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා තම ජීවිත පවා කැප කිරීමට සූදානම් වූ ද රටට අද්විතීය සේවයක් ඉටුකළා වු ද කීර්තිමත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බවද ආරක්‍ෂක ලේකම්වරයා එහිදී අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා, අපගේ හමුදා වෙත ලබා දී තිබෙන මෙම සම්පත් සියල්ල අප රටේ සාමාන්‍ය ජනතාවගේ දායකත්වයෙන් දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන බැවින් මෙම මානව හා භෞතික සම්පත්, ගුවන් යානා ඇතුළු විවිධ උපකරණ ඉතා වගකීමෙන් හා වගවීමෙන් භාවිතා කළ යුතු බව සිහිපත් කළේය.

සිය පුහුණුවේ දී විශිෂ්ට දක්‍ෂතා දැක්වූ නිලධාරීන් හට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා විසින් ඔවුන්ට හිමි සම්මාන පිරිනමනු ලැබිය.

ඒ අනුව, සෑම අතින්ම දක්ෂ නිලධාරියාට හිමි එයාර් චිෆ් මාර්ෂල් පි.එච්. මෙන්ඩිස් අනුස්මරණ කුසලානය සහ දක්‍ෂතම නිලධාරියාට හිමි අසිපත පයිලට් ඔෆිසර් ආර්.එන්. ජයලත් විසින් දිනා ගනු ලැබීය.

ගුවන් හමුදාවටම අනන්‍ය වූ Bell 212, Bell 412, Cessna 150, Y12, Beechcraft B 200 සහ K8 ගුවන් යානා වලින් සමන්විත පියාසර පෙළපාලියකින් ද මෙම උත්සවය තවත් විචිත්‍රවත් විය. තවද වර්ණවත් සරඹ සහ තුර්යවාදක කණ්ඩායම් සංදර්ශනයක්, සංස්කෘතිකාංග වලින් සමන්විත සංදර්ශනයක් සහ පැරෂුට් සංදර්ශනයක් ද පැවැත්වුණේ ගුවන් හමුදාවේ අභිමානය විදහා දක්වමිනි.

මෙම අවස්ථාවට පුජ්‍ය පක්‍ෂය, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ විසිර ගිය නිලධාරින් ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.