සියලු දෙනාම එක්සිත්ව, වැඩ පවරණතෙක් බලා නොසිට ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වී, කාර්යක්ෂම දුම්රිය සේවයක්, ප්‍රියමනාප දුම්රිය ස්ථානයක් බිහි කිරීමේ පෙරගමන්කරුවන් ලෙස කටයුතු කළ යුතු බව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. කපිල සී.කේ. පෙරේරා මහතා අවධාරණය කළේය.
ඒ මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (07) කොටුව දුම්රිය ස්ථානයේ පැවති "Clean Sri Lanka” වැඩසටහනට සහභාගී වෙමිනි.
එමෙන්ම, "කිහිපදෙනකු සිදු කරන කිලිටි වැඩ නිසා සමස්ත දුම්රිය සේවයේ ම කීර්ති නාමයට හානි සිදුවෙන බවත්, නව රජයේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන "Clean Sri Lanka” ව්‍යාපෘතිය තුළින් මෙම කිලිටි වැඩ සියල්ල සහමුලින් අතුගා දැමිය යුතු බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.
දුම්රියක් සිය ගමනාරම්භයේ දී ඉතාමත් සෙමින් ධාවනය කරන බවත්, කෙමෙන් ඉදිරියට ඇදී යාමේදී යම් ජවයක් ලබාගනිමින් වඩා වේගවත් ගමනකට මුල පුරණ බවත්, එලෙසම දුම්රිය දෙපාර්තමේන්තුවත් ජවසම්පන්න වී මඟී ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ප්‍රශංසනීය සේවාවක් සැපයීමට උත්සුක විය යුතු බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා ද මෙහි දී පැවසීය.
මෙහි දී කොටුව දුම්රිය ස්ථානය තුළ සහ ඒ අවට පිරිසිදු කිරීම, තීන්ත ආලේප කිරීම මෙන්ම ක්‍රමානුකූලව අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයන් ද සකසන ලදී. තව ද බොහෝ කලකින් ප්‍රතිසංකරණය නොවූ කොටුව දුම්රිය ස්ථානයේ මඟී විවේකාගාරයන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම ද මේ යටතේ ආරම්භ වී තිබේ.
බැස්ටියන් මාවත මඟී ප්‍රවාහන පිවිසුම ද ලේකම්වරයා අතින් මඟී අයිතියට පත්කිරීම ද මෙහි සිදු කෙරිණි.
මෙම අවස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.