පුද්ගලික බස්රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කරන්නේ එම බස්රථවල CCTV ආරක්ෂණ කැමරා පද්ධති සවිකර ඇත්නම් පමණක් බවත් කාන්තා හිංසනයන්ට අදාළ පැමිණිලි දැනුම් දීමට ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති බී.ඩී.විතාරණ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් වැළැක්වීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළීවෙළක් අවශ්‍ය බවත් පොදු ප්‍රවාහනය කාන්තාවන්ට පොදු අවකාශයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.
කාන්තා හිංසනය මේ වනවිට පුළුල් ව අර්ථකථනය කර ඇති බව පවසන ඒ මහතා , එය දණ්ඩනීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ අපරාධ වරදක් බව පෙන්වා දුන් අතර ඒ සඳහා නීති දැඩි කර ඇති බවද සඳහන් කළේය.
මේ සම්බන්ධව සමාජ කතිකාවක් ඇති කළ යුතු බවත් කාන්තා හිංසනයේදී වර්තමානයේ කාන්තාව හුදකලා වන බවත් තනිව සටන් කිරීමට සිදු වන බවත් පෙන්වා දෙන ඒ මහතා ඒ වෙනුවෙන් සමස්ත මගී ජනතාව සංවිධානය කළ යුතු අතර ඒ සඳහා වැඩපිළීවෙළක් ආරම්භ කර ඇති බවද හෙතෙම අවධාරණය කළේය.