රාජ්‍ය නිලධාරීන්ට කෘතිම බුද්ධිය (AI) පිළිබඳ විශේෂ පාඨමාලාවක්

රාජ්‍ය නිලධාරීන්ට කෘතිම බුද්ධිය (AI) පිළිබඳ විශේෂ පාඨමාලාවක්
  • SocialShare:

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් රජයේ නිලධාරීන් වෙනුවෙන් කෘතිම බුද්ධිය (AI) පිළිබඳ විශේෂ සතිඅන්ත කෙටි පාඨමාලාවක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා(16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වුණි. 

University of Canberra, General Sir John Kotelawala Defence University (KDU) සහ AION Campus යන ආයතන ශ්‍රී ලංකා රජය සමඟ එක්ව  මෙම AI පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ සාමාන්‍යයෙන් බුද්ධිමය සේවාවන්හි නිරතවන්නෙකු තොරතුරු සෙවීම සඳහා සතියකට පැය තුනකට වැඩි කාලයක් වැය කරන බවයි. එය වසරකට ගණනය කළ විට සම්පූර්ණ මාසයක ඵලදායිතාව අහිමි වීමක් බව ද ඔහු අවධාරණය කළේය. AI භාවිතය හරහා මෙම කාලය ඉතිරි කරගෙන වඩාත් ගුණාත්මක ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාව වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණය සහ නායකත්වය යටතේ රාජ්‍ය අංශය නවීන ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම මෙහිදී ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන ඇත.

නූතන තාක්ෂණික මෙවලම් රාජ්‍ය පරිපාලනයට බද්ධ කිරීම මඟින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමත්, රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීමත් මෙම පුහුණු වැඩසටහන හරහා සිදු කරනු ඇත. ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල සහ දේශීය ආරක්ෂක විශ්වවිද්‍යාලය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මෙරට රාජ්‍ය සේවය නවීකරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

මෙම වැඩසටහනට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.