පළමු ජාතික AI ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස කොළඹදී

පළමු ජාතික AI ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස කොළඹදී
  • SocialShare:

මෙරට පළමු ජාතික AI ප්‍රදර්ශනය සහ සම්මන්ත්රණය "AI Expo 2025" පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් පසු ගිය 12 දින ICTA ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

2025 සැප්තැම්බර් 29 සහ 30 යන දිනවල පැවැත්වීමට නියමිත මෙම  වැඩසටහනේ අරමුණ වන්නේ, ශ්‍රී ලංකාව Asia-Pacific කලාපයේ AI මධ්යස්ථානයක් (AI HUB) බවට පත් කිරීම සහ කෘතිම බුද්ධිය සියලුම ආර්ථික ක්ෂේත්‍ර සඳහා ක්‍රමවත්ව සහ වේගයෙන් හඳුන්වා දීමයි. 

ඒ අනුව රජයේ ඉලක්කය වන්නේ මේ වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් වැනි වටිනාකමක් ඇති ඩිජිටල් ආර්ථිකය 2030 වන විට බිලියන 15ක් දක්වා විකාශනය කිරීමයි. එහිදී AI මගින් මේ වර්ධනයේ 10%–12%ක් දායක වීමට අපේක්ෂා කරන බව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් , ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පෙන්වා දුන්නේ  "AI Expo 2025  සම්මන්ත්රණය ශ්‍රී ලංකාවේ කෘතීම බුද්ධිය හා සම්බන්ධ අනාගතයට පදනම තැබෙන සංධිස්ථානයක් වනු ඇති බවයි. එමෙන්ම AI නවෝත්පාදන, ආර්ථික වර්ධනය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට ප්‍රධාන රුකුලක් වන බවටද ඔහු පෙන්වා දුන්නේය.

මෙම සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයෙන් අනතුරුව AI දැනුම, පරිශීලනය සහ  ප්‍රායෝගික අත්දැකීම් යාපනය, අනුරාධපුර, මහනුවර, මාතර වැනි ප්‍රදේශවලට ගෙනයන අතර, දිවයිනේ සෑම කෙනෙකුම AI Expo සමඟින් ආරම්භ වන AI පරිවර්තනයේ කොටස්කරුවන් බවට පත්වනු ඇත.

 ඩිජිටල් ආර්ථික අමාත්යාංශය මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, SLT Mobitel, SLASSCOM ශ්‍රී ලංකා, සහයෝගීත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය පිළිබඳව දනුවත් කිරීමේ වැඩසටහනට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්‍ය, හාන්ස් විජේසූරිය, SLT Mobitel ආයතනයේ සභාපති ආචාර්‍ය මොතිලාල් ද සිල්වා, මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජනක අබේසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.