උතුරු පළාතේ රාජ්‍ය සේවය සඳහා බඳවාගත් ඒකාබද්ධ රාජ්‍ය සේවා තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන් මහතා, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
උතුරු පළාත් සභාව යටතේ ඇති විවිධ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිරවීමේ අරමුණින් මෙම පත්වීම් ප්‍රදානය සිදුකර ඇත.
තාක්ෂණික නිලධාරී තනතුරු සඳහා පත්වීම් 37ක්, කළමනාකරණ සහකාර තනතුරු සඳහා පත්වීම් 14ක් සහ කාර්යාල කාර්ය සහායක තනතුරු සඳහා පත්වීම් 44ක් ලෙස සමස්තයෙන් 95 දෙනෙකු රාජ්‍ය සේවයට බඳවා ගැනිණි.
වවුනියාව, මන්නාරම, යාපනය, මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලින් බඳවාගත් මෙම පිරිස පසුගිය වසරේ පැවති තරඟ විභාගයෙන් සමත්වූ අය වන අතර, එම සුදුසුකම් මත රාජ්‍ය සේවය යටතේ පත්වීම් ලබාදී ඇත.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසු මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත පිරිසක් එක්ව සිටියහ.


