දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්වය නිසා හානියට පත් වූ මාර්ග 91%ක් ගමනා ගමනයට සුදුසු පරිදි පිළිසකර කර අවසන් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්.කන්ඩම්බි මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
ඒ අනුව ආපදාව නිසා හානියට පත් වූ මාර්ග කොටස් 315 න් මාර්ග කොටස් 288 ක් ඊයේ වන විට නැවත ගමනාගමනයට යොදවා ඇති බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම හානියට පත් වූ පාලම් 40 න් 15 ක් ප්‍රතිසංස්කරණ කටයුතු නිම කරමින් රථවාහන ගමනාගමනයට යොදවා ඇති බවත්,පාලම් 10 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතන බවද ඒ මහතා වැඩිදුරත් පැවසීය.
විශේෂයෙන් ඊයේ වන විට පොල්ගහවෙල - කෑගල්ල මාර්ගය සැහැල්ලු වාහන හා මගී ප්‍රවාහන රථ සඳහා උදෑසන 6.00 සිට හවස 6.00 දක්වා විවෘතව පවතින බවද ඔහු සදහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසා සිටියේ දුර ගමන් සේවා සම්බන්ධයෙන් කොළඹ - නුවරඑළිය මාර්ගය හැර අනෙකුත් සියලුම මාර්ගවල ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු වන බවයි.
තවද කොළඹ - නුවර,කොළඹ - කුරුණෑගල මාර්ගවල සුළු වශයෙන් සංශෝධනය කරනු ලැබූ බස් ගාස්තු නැවත පෙර ගාස්තු ලෙස වෙනස් වී ඇති බවත්, ඒ අනුව සාමාන්‍ය බස් ගාස්තුව 408 ක් හා සුඛෝපභෝගී බස් ගාස්තුව 740 ක් වන බවත් සඳහන් කර සිටියේය.


