ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාව සඳහා වන 78 වන කලාපීය කමිටුව ලබන සතියේ කොළඹදී ආරම්භ වේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාව සඳහා වන 78 වන කලාපීය කමිටුව ලබන සතියේ කොළඹදී ආරම්භ වේ
  • SocialShare:

කොළඹ / නවදිල්ලිය, 2025 ඔක්තෝබර් 10: ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම, ඔක්තෝබර් 13 සිට 15 දක්වා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාවේ හැත්තෑ අටවන කලාපීය කමිටු සැසියේදී සෞඛ්‍ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රධාන ප්‍රමුඛතා වේ.

අග්නිදිග ආසියානු කලාපීය සෞඛ්‍ය හදිසි අරමුදලේ සංචිතය පුළුල් කිරීම සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධයට එරෙහි ක්‍රියාමාර්ග වේගවත් කිරීම පිළිබඳව සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡා කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ ඇතුළු අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ  විශේෂඥයින් ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය සකස් කරන තෙදින රැස්වීමට සහභාගී වීමට අපේක්ෂා කෙරේ.

මෙම කලාපීය සමුළුවේදී ප්‍රමුඛ සෞඛ්‍ය ගැටළු පිළිබඳ යෝජනා සම්මත කර ගැනීමටත්, පෙර වසරවල යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමටත් අපේක්ෂා කෙරේ.

සාමාජික රටවල් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම පිළිබඳ ප්‍රකාශයක් සම්මත කර ගැනීමට අපේක්ෂා කෙරේ. වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගේ අනුපාතය වේගයෙන් ඉහළ යාමත් සමඟ සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම පිළිබඳ අවධානය යොමු වේ. 2024 දී කලාපයේ ජනගහනයෙන් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 11.3% ක් වූ අතර එය 2050 වන විට 20.9% ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වයස්ගත වීම නොවැළැක්විය හැකි වුවද, මෙම ජනවිකාස වෙනස උපරිම වාසියක් ලෙස භාවිතා කිරීමට සෞඛ්‍ය සහ සමාජ පද්ධති ප්‍රමාණවත් ලෙස සූදානම් විය යුතුය.

දුම් රහිත දුම්කොළ, ඉලෙක්ට්‍රොනික සිගරට්, නිකොටින් බෑග් සහ පුවක් භාවිතයට එරෙහිව සටන් කිරීමේ උපාය මාර්ග පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරේ. ගෝලීය දුම්කොළ භාවිතා කරන්නන්ගෙන් තුනෙන් එකක අසමානුපාතික බරක් කලාපය විසින් අඛණ්ඩව දරනු ලබන අතර, එය මිලියන 280 කට අධික දුම් රහිත දුම්කොළ භාවිතා කරන වැඩිහිටි ජනගහනයකින්  සහ ආසන්න වශයෙන් මිලියන 11 ක නව යොවුන් වියේ දුම්කොළ භාවිතා කරන්නන්ගෙන් සමන්විත වේ. ඉලෙක්ට්‍රොනික සිගරට් සහ නිකොටින් බෑග් වැනි නව නිකොටින් නිෂ්පාදනවල භාවිතය ඉහල යාම සහ පුළුල් සමාජ සංස්කෘතික භාවිතයක් වන පුවක්, මෙම අභියෝගය තවදුරටත් සංකීර්ණ කරයි.

ස්වාභාවික විපත් වලට ගොදුරු වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයට  හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවයකදී ජීවිතාරක්ෂක මැදිහත්වීම් සඳහා සහාය වීම පිණිස අග්නිදිග ආසියානු කලාපීය සෞඛ්‍ය හදිසි අරමුදල (SEARHEF) නමින් තමන්ගේම කලාපීය සෞඛ්‍ය හදිසි අරමුදලක් ඇත. 2008 දී පිහිටුවන ලද දා සිට සාමාජික රටවල් 10 ක හදිසි අවස්ථා 49 කට සහාය වී ඇති මෙම අරමුදලේ සංචිතය පුළුල් කිරීම පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කරනු ඇත. හදිසි සූදානම සඳහා සහාය වීම සඳහා අරමුදලේ විධිවිධානය 2016 වසරේදී පුළුල් කරන ලදී.

කලාපීය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගෝලීය කැපවීම් සමඟ පෙළගස්වා ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධයට එරෙහිව ක්‍රියාමාර්ග වේගවත් කිරීම කලාපීය සමුළුවේ තවත් ප්‍රමුඛ කාරණයක් වනු ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය පිළිබඳ දේශපාලන ප්‍රකාශය වැනි මෑත කාලීන ගෝලීය සහ කලාපීය සන්ධිස්ථාන, මේ සඳහා වන ක්‍රියාමාර්ග සඳහා නව ගම්‍යතාවයක් සහ අවස්ථාවන් නිර්මාණය කිරීමට උපකාරී වී ඇත.

බිලියන 2 කට ආසන්න ජනතාවක් වෙසෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපය, මානසික සෞඛ්‍යය, යහපැවැත්ම සහ ජීවන තත්ත්වය ශක්තිමත් කිරීම; කාන්තාවන්, ගැහැණු ළමයින්, නව යොවුන් වියේ පසුවන්නන් සහ අවදානම් සහිත පුද්ගලයින් සඳහා ආයෝජනය නැවත තහවුරු කිරීම; තාක්ෂණය සහ නවෝත්පාදනයන් සාක්ෂාත් කර ගැනීම සහ ධාරිතාව, දැනුම කළමනාකරණය සහ පර්යේෂණ ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙයි.

සියලු ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, සැපයීම සහ ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය ආශ්‍රිත තිරසාර සංවර්ධන ඉලක්ක නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නැවත පණ ගැන්වීම මෙහි අරමුණයි.