78 වැනි නිදහස් දින සැමරුම් උත්සවය ඇරඹෙයි

78 වැනි නිදහස් දින සැමරුම් උත්සවය ඇරඹෙයි
  • SocialShare:

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ.

“ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ මෙවර නිදහස් සැමරුම් උත්සවය පැවැත් වේ. මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වූ අතර, ජනාධිපතිවරයා ජාතිය ඇමතීම පෙරවරු 8.26ට සිදු කිරීමට නියමිතය.
ජාතික ගීය ගායනා කිරීම සඳහා රත්මලාන අන්ධ විද්‍යාලය, කොළඹ 09 අනුරුද්ධ බාලිකා විද්‍යාලය, කොළඹ 10 ආනන්ද විද්‍යාලය, කොළඹ 02 ආරක්ෂක සේවා විද්‍යාලය, කොළඹ 15 ඩිලාසාල් විද්‍යාලය, කොළඹ 04 මුස්ලිම් කාන්තා විද්‍යාලය, කොළඹ 07 රාජකීය විද්‍යාලය, කොළඹ 04 රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලය, කොළඹ 09 වේළුවන විද්‍යාලය, කොළඹ 10 සහිරා විද්‍යාලය, කොළඹ 04 හින්දු විද්‍යාලය යන විද්‍යාල 11ක ශිෂ්‍ය සහ ශිෂ්‍යාවෝ සහභාගී වෙති. කොළඹ 08 දේවි බාලිකා, කොළඹ 04 විශාකා, කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා යන විද්‍යාලවල ශිෂ්‍යාවෝ ‘ජයමංගල ගාථා’ සහ ‘දේවෝ වස්සතු කාලේන’ ගාථාව ගායනා කරති.


ආචාර පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 1,962 දෙනෙකු, නාවික හමුදාවේ 693 දෙනෙකු, ගුවන් හමුදාවේ 583 දෙනෙකු, ශ්‍රී ලංකා පොලිසියේ 352 දෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බළකායේ 278 දෙනෙකු, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 183 දෙනෙකු, ජාතික ශිෂ්‍යභට බළකායේ 507 දෙනෙකු, විශ්‍රාමික නිලධාරීන් 22 දෙනෙකු සහ ආබාධිත නිලධාරීන් 22 දෙනෙකු ඇතුළු සමස්ත නිලධාරීහු 4,602 දෙනෙකු සහභාගී වේ.


ජනාධිපතිවරයා නික්ම යෑමෙන් පසු, පෙරවරු 10.04ට අනෙකුත් ආරාධිතයන් නික්ම යෑමට නියමිතය.