අභිමානවත් 78 වැනි නිදහස් දිනය අදයි

අභිමානවත් 78 වැනි නිදහස් දිනය අදයි
  • SocialShare:

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

“ගොඩනඟමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේය. ඒ අනුව, උත්සවය සඳහා ආරාධිතයන් 2000ක් පමණ සහභාගී වීමට නියමිත අතර, ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100ක් වේ.

අද පෙරවරු 6.00ට බෞද්ධ ආගමික වතාවත් කොළඹ 03 කොල්ලුපිටිය ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේදී ද පෙරවරු 5.30ට හින්දු ආගමික වතාවත් ද පෙරවරු 6.15ට කතෝලික දේව මෙහෙය ද පෙරවරු 6.15ට ක්‍රිස්තියානි දේව මෙහෙය ද පෙරවරු 6.00ට ඉස්ලාමීය ආගමික වතාවත් ද පෙරවරු 6.00ට අදාළ දේවස්ථාන, කෝවිල්, පල්ලිවල පවත්වා මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට මල්දම් පැලඳවීම හා පුෂ්පෝපහාර පිරිනැමීම සිදුකෙරේ.

පෙරවරු 8.00 ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සම්ප්‍රාප්තිය සිදුවන අතර ජනාධිපතිවරයා ජාතිය ඇමතීම පෙරවරු 8.26ට සිදුකිරීමට නියමිතය.

මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් පිදෙන සාම්ප්‍රදායික ආචාර වෙඩිමුර, අද මධ්‍යහ්න 12.00ට ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක් මතදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ශ්‍රී ලංකාව 1948 වර්ෂයේ නිදහස ලබාගත් දා සිට ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් සාම්ප්‍රදායික ආචාර වෙඩිමුර 25ක් පිරිනමනු ලබන බව ද සඳහන් වේ.

මෙවර නිදහස් දින සැමරුම් උත්සවයේදී ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂ බළකායේ සහභාගිත්වයෙන් ආචාර පෙළපාළියක් ද පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවෙන් හමුදා නිලධාරීන් 234 දෙනකු සහ සෙසු නිලයන් 3,323 දෙනකු සහභාගී වන අතර, ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 637 දෙනකු ද, ජාතික ශිෂ්‍යභට බළකායේ නිලධාරීන් 12 දෙනකු සහ ශිෂ්‍යභටයන් 479 දෙනකු ද සහභාගී වීමට නියමිතය.

ඊට අමතරව, නාවික හමුදාව විසින් සාම්ප්‍රදායානුකූලව නිලධාරීන් 12 දෙනකු සහ සෙසු නිලයන් 80 දෙනකුගේ සහභාගිත්වයෙන් ගාලුමුවදොර පිටියේදී සම්මාන වෙඩිමුර පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

පෙර වසරවල මෙන්ම මෙවරත් ගුවන් හමුදාව විසින් ජාතික ධජය පෙරදැරි කර ගනිමින් බෙල් හෙලිකොප්ටර් යානා තුනක් යොදවා ගුවනින් ගමන් කිරීමට ද නියමිතය. එමෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ත්‍රිවිධ හමුදාව විසින් දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.