ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා විනය කර්මය පසු ගිය දා (07) වන දින සවස් කාලයේ දී අවසන් කෙරිණි. පසුගිය ජුනි මස 30 වන දින මෙම මහා විනය කර්මය ආරම්භ කළේ ය.
එහි දී සාමණේර භික්ෂූන් වහන්සේ හාරසිය නමක් උපසම්පදා ප්‍රාප්තියට පත්කලහ. මෙම සියළු කටයුතු සිදුකරන ලද්දේ ගල්නෑව ප්‍රාදේශයේ කලා ඔය මත නිමවන ලඳ සුවිශේෂි උදකුක්ඛේපම සීමා මාලකය තුළ දී යි.
උපසම්පදා විනය කර්මය අවසන් කිරිම අද සවස් කාලයේ දී සිදුකෙරුණේ , ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක , තඹුත්තේගම සමාධී භාවනා මධ්‍යස්ථානාධිපති ,අග්ග මහා පණ්ඩිත මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල නා හිමිපාණන් වහන්සේ , එම නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව අභිනවාරාම විහාරාධිපති අති පූජ්‍ය ඇලප්පන්කුලමේ වංශානන්ද නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන්.
මෙහි දී අනුශාසනා කළ අධිකරණ නායක හිමිපාණන් වහන්සේ සඳහන් කළේ , මනා අන්තර් සම්බන්ධතාවයක් සියලු දෙනා අතර පවත්වා ගැනිමේ ප්‍රතිඵලයක් ලෙස මේ මහා පුණ්‍ය කර්මය අති සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවයි. ඒ වෙනුවෙන් කැප වූ සියලු දෙනා වෙත පුණ්‍යානුමෝදනා කරන බව ද උන් වහන්සේ සඳහන් කලහ.
සැමට නව අත්දැකීමක් වූ මෙම උපසම්පදා උත්සවය හේතුවෙන් බොහෝ දේ අවබෝධ කරගැනීමට හැකි වූ බවත් , බෞද්ධ සංස්කෘතිය අගය කරන සැමට මෙය ස්වර්ණමය අවස්ථාවක් වූ බවත් , උපසම්පදා විනය කර්මය අවසන් කිරීමේ අවස්ථාවට පැමිණි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සඳහන් කළේ ය.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් , අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර , ගල්නෑව , ඉපලෝගම හා ඵලාගල ප්‍රාදේශිය ලේකම්වරුන් , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී ධම්මිකා පල්ලෙවත්ත , ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් , පොලීස් නිලධාරින් , අනුරාධපුර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක මංජුල සෙනවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


