රු. මිලියන 6778.4 ක මූල්‍ය වියදමින් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 44 ක් සංවර්ධනයට සැලසුම්

රු. මිලියන 6778.4 ක මූල්‍ය වියදමින් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 44 ක් සංවර්ධනයට සැලසුම්
  • SocialShare:

රු. මිලියන 6778.4 ක මූල්‍ය වියදමින් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 44 ක් සංවර්ධනයට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඒ යටතේ මීටර් 600ක දිගකින් යුත් බදුල්ල කයිලගොඩ වඩු පාසල අසල සිට කේෂ්ත්‍රාරාම විහාරස්ථානය දක්වා වූ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඊයේ (15) නිල වශයෙන් ආරම්භ විය.

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (i-Road Project) යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපියල් මිලියන 28.23 ක වියදමින් යුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරුණි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) මූල්‍ය ආධාර සපයනු ලබයි.

දිගු කාලයක් පුරා සංවර්ධනය නොවී පැවති මෙම මාර්ගය මහියංගන ප්‍රධාන මාර්ගය සමඟ සම්බන්ධ වන බැවින්, එය නවීකරණය කිරීම තුළින් ප්‍රදේශවාසීන්ගේ දෛනික ජීවන කටයුතු වඩාත් පහසු වන අතර ප්‍රවාහන සේවා ද කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට කේෂ්ත්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය ප්‍රධාන, බදුල්ල නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් ද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා, දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.පී.කේ.ටී.ආර්. පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.