ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වැනි සංවත්සර සැමරුම සහ 11 වැනි මහ සභාවේ දෙවැනි විධායක කමිටු රැස්වීම එළඹෙන නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා, ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් වන මූලික සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (15) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ උප සභාපති පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ දේශනා සහ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.
මෙම සම්මේලනයට ථේරවාද, මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂු-භික්ෂුණීන් වහන්සේලා සහ ගිහි නියෝජිතයෝ 600කට ආසන්න පිරිසක් ද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය 500කට ආසන්න පිරිසක් ද සහභාගී වීමට අපේක්ෂිතය.
1966 වසරේ ශ්‍රී ලංකාවේ ආරම්භ වූ මෙම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ 60 වැනි සංවත්සරය එය බිහිවූ රටේදීම පැවැත්වීම ශ්‍රී ලංකාවට හිමිවූ සුවිශේෂී ඓතිහාසික ගෞරවයකි.
ප්‍රධාන වැඩසටහන් පෙළගැස්ම:
නොවැම්බර් 28: සමාරම්භක උත්සවය (කොළඹ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනයේදී)
නොවැම්බර් 29: සංවත්සර උත්සවය, විධායක කමිටු රැස්වීම් සහ ශාස්ත්‍රීය සමුළුව
නොවැම්බර් 30: අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ලෝක සාමය උදෙසා විශේෂ අධිෂ්ඨාන පූජාවක්
දෙසැම්බර් 01: ශ්‍රී දළදා මාළිගාව සහ රුවන්වැලි සෑය කේන්ද්‍ර කරගත් ආගමික වැඩසටහන්
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා පවසා සිටියේ, ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම බෙහෙවින්ම ගෞරවනීය සහ ඓතිහාසික අවස්ථාවක් බවයි. මෙරට බෞද්ධ උරුමය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ලොවටම ප්‍රදර්ශනය කෙරෙන මෙම උදාර පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ ආශිර්වාදය ඇතිව රාජ්‍ය පාර්ශ්වයෙන් ලබාදිය යුතු උපරිම සහයෝගය අඛණ්ඩව ලබා දෙන බවයි.
පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි, පූජ්‍ය ඉත්තන්දෙමළියේ ඉන්දසාර හිමි, පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි, පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි,පූජ්‍ය අත්තන්ගනේ සාසනරතන හිමි, පූජ්‍ය මල්වානේ ඥානසාර හිමි, පූජ්‍ය අතුරලියේ නන්ද හිමි, පූජ්‍ය රඹුකේවල ඥානසීහ හිමි, පූජ්‍ය වැලිවිටියේ සුජීව හිමි, පූජ්‍ය එස්.සුමේධ හිමි, පූජ්‍ය තලගල සුමනරතන හිමි වරක් ප්‍රමුඛ මහා සංඝරත්නය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී. සේනාරත්න මහතා, අතිරේක ලේකම් එච්. එන්. කුමාරි මහත්මිය ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වූහ.


