වනස්පති වැඩසටහන තවදුරටත් දීර්ඝ කරමින් මෙම වසරේ මාර්තු 21 වනදාට යෙදෙන ජගත් වනාන්තර දිනයට සමගාමීව අප රට තුළ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමට තීරණය කතර ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
පරිසර අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ජගත් වනාන්තර දිනය සහ වනස්පති ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙවර ජගත් වනාන්තර දිනයේ තේමාව වනුයේ වනාන්තර සහ ආර්ථිකය යන්න බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වසරේ මාර්තු 21 වනදාට යෙදෙන ජගත් වනාන්තර දිනයට සමගාමීව මාර්තු 23 වනදා නුවර එළියේදී විශේෂ වැඩසටහනක් සැලසුම් කර තිබුණු බවද සදහන් කළේය.
මේ වන විට ලෝක දේශපාලනයේ සහ ලෝක ආර්ථිකයේ ඇති වී ඇති තත්ත්වයන් තුළ උත්සව කටයුතු පැවැත්වීම සීමා කිරීමට රජය තීරණය කළ බැවින් රජයේ එම තීරණයට අනුගත වෙමින් නුවර එළියේ පැවැත්වීමට නියමිතව තිබූ ජගත් වනාන්තර සැමරුම අවලංගු කරමින් ඒ වෙනුවට පරිසර අමාත්‍යංශ පරිශ්‍රෙශ්‍රයේදී එම දිනයට අදාළ කටයුතු කිහිපයකට මැදිහත් වීමට තීරණය කර ඇතැයිද පැවසුවේය.
අප රට පරිසරය පැත්තෙන් ජාත්‍යන්තර පැරිස් ගිවිසුමට අදාළව කටයුතු කරමින් සිටින බවද රටක් ලෙස මෙරට පරිසරය ආරක්ෂා කිරීමට සහ 2030 වන විට මෙරට වන ගහණය 32% දක්වා වැඩිකිරීමේ සැලැස්ම අනුව කටයුතු කරන බවද සදහන් කළේය.
රජයට ලැබී ඇති ජන වරම අනූව පසුගිය වසරේ සිට මෙම වැඩපිළිවෙළ වනස්පති නමින් විශේෂ වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කරමින් සිටින බවද ගිය වසරේ වනස්පති වැඩසටහන යටතේ වනාන්තර 29ක් රක්ෂිත ලෙස ගැසට් කර ප්‍රකාශයට පත්කරමින් ඒවා ආරක්ෂා කිරීමේ කටයුතු පටන්ගත් බවද අවධාරණය කළේය.
එම වනාන්ත 29 තුළ මෙරට දෙවන විශාලතම රක්ෂිතය වන නිල්ගණ වනාන්තරය ද කලින් පැවති පාලනයන්ට රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරගත නොහැකිව තිබූ සහ විනාශ වීමේ අවධානමට මුහුණපා තිබූ නිර්දන වනාන්තරයත් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ලැබුණු බවද පැවසුවේය.


