උතුරු පළාතේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් 1985 වසරේ වසාදමනු ලැබූ පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත ඉදිකිරීම සඳහා ඊයේ (22) පරන්තන් රසායනික කර්මාන්ත කලාපයේදී මුල්ගල තැබීම සිදු කෙරිණි.
1950 දශකයේ ආරම්භ වූ ආරම්භක කර්මාන්තශාලා අතර එකක් වූ මෙම කර්මාන්තශාලාව 1954 වසරේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරන්තන්හි රජයේ රසායනික කර්මාන්තශාලාව ලෙස ස්ථාපිත කෙරුණු අතර, 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ 1957 දී “පරන්තන් රසායනික සංස්ථාව” ලෙස නාමකරණය කරන ලදී. 1985 වසරේ වසා දැමීමට පෙර දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් කෝස්ටික් සෝඩා සහ ද්‍රව ක්ලෝරීන් ප්‍රධාන නිෂ්පාදන ලෙසත්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සින්ක් ක්ලෝරයිඩ් සහ මේස ලුණු අතුරු නිෂ්පාදන ලෙසත් මෙහිදී නිෂ්පාදනය කර තිබුණි.
පසුව 1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා හෝ රජය සතු ව්‍යාපාර ආයතන රාජ්‍ය සමාගම් පනතට පරිවර්තනය කිරීමේ නීතිය යටතේ 1991 ජනවාරි 17 වන දින පොදු සීමිත වගකීම් සමාගමක් ලෙස “පරන්තන් කෙමිකල්ස්” සමාගම සංස්ථාගත කරන ලදී.
රුපියල් මිලියන 6,900ක ආයෝජනයකින් ඉදිකරන මෙම නව කර්මාන්තශාලාව මාස 30ක කාලයක් තුළ නිම කිරීමට නියමිත අතර, දේශීය වෙළඳපොළේ ඉල්ලුම අනුව පොලි ඇලුමිනියම් ක්ලෝරයිඩ් (PAC) සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ල (HCL) නිෂ්පාදනය කිරීමට නියමිතය.
මෙම සමාරම්භක උළෙලට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරම් මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා, සී/ස පරන්තන් රසායනික සමාගමේ සභාපති සදානම්දම් නෙසරාජන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.


