උතුරු ආයෝජන සමුළුව (Northern Investment Summit) ඇරඹේ

උතුරු ආයෝජන සමුළුව  (Northern Investment Summit)  ඇරඹේ
  • SocialShare:

තිරසර ආර්ථික සංවර්ධනයක් අරමුණු කරගත් Northern Investment Summit 2026 (NIS26) සමුළුව  ඊයේ(21) කර්මාන්ත  සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය තිරුවල්ලුවාර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

අද සහ හෙට පැවැත්වෙන මෙම උතුරු ආයෝජන සමුළුවේ අරමුණ වන්නේ උතුරු පළාත තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දේශීය හා විදේශීය ආයෝජකයන් දැනුවත් කිරීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම, උතුරු පළාතෙන් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය වැඩි කිරීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ තරුණ හා කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීම යන කරුණු වේ.

මෙම සමුළුව The Management Club සංවිධානය විසින් සංවිධානය කර ඇති අතර, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය, යාපනයේ ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලය, උතුරු පළාත් සභාව, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.

සමුළුවේ සමාරම්භක උළෙලට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරම් මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ඒ. සපුතන්ත්‍රි මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා, යාපනයේ ඉන්දියානු කොන්සල් ජනරාල් ශ්‍රී සායි මුරලි මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලින්ගම් වෙදනායගම් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන් සහ දේශීය හා විදේශීය ආයෝජකයන් රැසක් සහභාගී වූහ.