2026 ජගත් පරිසර සතියට අදාළ චක්‍රලේඛය නිකුත් වේ

2026 ජගත් පරිසර සතියට අදාළ චක්‍රලේඛය නිකුත් වේ
  • SocialShare:

මෙවර ජගත් පරිසර දිනය  54 වන වරටත් ජුනි මස 05 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

“Urgent Climate Action” – “කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය” යන ගෝලීය තේමාවට සමගාමීව, ශ්‍රී ලංකාව “තිරසර ජෛව ගෝලයක් - සදාහරිත ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව “දලුලන්න ඉඩදෙන්න” නමින් දිවයින පුරා ප්‍රායෝගික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 2025 වසරේදී ලබා දුන් පාරිසරික පොරොන්දු ප්‍රායෝගිකව සාර්ථක කර ගනිමින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ ඉහළ යන ගෝලීය උෂ්ණත්වය කළමනාකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කිරීම මෙවර වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

මැයි 30 සිට ජුනි 05 දක්වා කාලය “ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එම සතිය තුළ පවිත්‍රතා වැඩසටහන්, වායු දූෂණ පාලනය, ජෛව විවිධත්ව සංරක්ෂණය, ජල සුරක්ෂිතතාව, වෙරළ පවිත්‍ර කිරීම සහ ආකල්ප ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දෛනික වැඩසටහන් සංවිධානය කර ඇත.

මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් ලද අත්දැකීම් පාදක කරගනිමින්, මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු කර තිබේ.

ජාතික පරිසර සතිය තුළ රුක් රෝපණ වැඩසටහන්, පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ඩිජිටල්කරණය වැනි ක්‍රියාමාර්ග ඔස්සේ පාරිසරික සංරක්ෂණය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති අතර, අනාගත පරපුර උදෙසා පරිසර සංවේදී සමාජයක් ගොඩනැගීම සඳහා ජනතා දායකත්වය අපේක්ෂා කර ඇත.