චීනයේ පැවති 2026 බෝආඹ් ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවට කථානායකවරයා සහභාගී වෙයි

චීනයේ පැවති 2026 බෝආඹ් ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවට කථානායකවරයා සහභාගී වෙයි
  • SocialShare:

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා 2026 මාර්තු 25 සිට 27 දක්වා චීනයේ පැවැති Boao Forum for Asia Annual Conference 2026 සමුළුවට සහභාගී වීම වෙනුවෙන් නිල සංචාරයක නිරත විය.

මෙම සමුළුව අතරතුරදී, කථානායකතුමා බෝආඕ සංසදයේ සභාපති බන් කී මූන් මහතා සහ සංසදයේ මහලේකම් ෂැං ජුන් මහතා හමුවිය.

බෝආඕ සංසදයේ සහ එහි නිර්මාතෘවරුන්ගේ කාර්යභාරය ඇගයීමට ලක් කළ කථානායකවරයා, සාමය සහ බහුපාර්ශ්විකත්වය ඉදිරියට ගෙන යාමේදී ලබා දෙන ගෝලීය නායකත්වය වෙනුවෙන් ගරු බන් කී මූන් මහතාට ප්‍රශංසා කළේය.

 “නව ප්‍රවණතා, නව අවස්ථා සහ නව සහයෝගිතා සමඟින් අනාගතය එක්ව හැඩගස්වමු” යන තේමාව යටතේ පැවැති ප්‍රධාන සැසිවාරය අමතමින් කථානායකවරයා බහුපාර්ශ්විකත්වය, ගෝලීය සහයෝගීතාව සහ සාමූහික ක්‍රියාමාර්ගවල වැදගත්කම ඉස්මතු කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ පිළිබඳ සඳහන් ද සඳහන් කළේය. මෙරට ක්‍රියාත්මක වන ආර්ථික හා පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අවධාරණය කරමින්, ආයෝජන හා සහයෝගීතාව සඳහා කලාපීය හවුල්කරුවන්ට ආරාධනා කළේය.

ලංකාව සහ චීනය අතර  සේද මාවත ඔස්සේ වෙළඳ හා සංස්කෘතික හුවමාරු හරහා වසර 2,000 කට වැඩි කාලයක් පුරා දීර්ඝ කාලීන සබඳතා පවතින බව  කථානායකවරයා සිහිපත් කළේය. නිරතුරුව චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය මෙන්ම විශේෂයෙන් දිට්වා සුළි කුණාටුවෙන් පසු ලබාදුන් සහය පිළිබඳව ඔහු සිය  කෘතඥතාව මෙහිදී පළ කළේය.

දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු වර්ධනයක් ඇති බව කථානායකවරයා පෙන්වාදුන් අතර, චීන සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ චීනය ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රටවල් පහෙන් එකක් බවට පත්ව ඇති බව සඳහන් කළේය.

චීන ජාතිකයින් සඳහා හඳුන්වා දී ඇති වීසා රහිත පහසුකම් මෙම වර්ධනයට ධනාත්මක ලෙස දායක වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

සමුළුවට සමගාමීව, චීන ජාතික මහජන කොංග්‍රසයේ නායකත්වය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාව පළ විය.

බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුව ප්‍රධාන කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ  සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය  සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, කර්මාන්ත විශේෂඥයින් සහ විද්වතුන් එක්රැස් කරන ප්‍රමුඛ වේදිකාවක් ලෙස පිළිගැනේ.