ශ්‍රී ලංකාවේ කාර්මික අංශය , තිරසාර ආර්ථිකයක් කරා යොමු කිරීමට අවශ්‍ය උපදේශන සහ තාක්ෂණික සහාය ලබා ගැනීමේ වැදගත්කම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අවධාරණය කරයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර ටාජ් පැලස් හි ඊයේ (26) පැවැති 2026 ලෝක තිරසාර සංවර්ධන සමුළුවට (WSDS) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
“බහුපාර්ශ්විකවාදය බලාපොරොත්තුවේ ශක්තියක්” (Multilateralism as a Force for Hope) යන තේමාව යටතේ පැවැති මෙම සැසියේදී, දේශගුණික අවදානමෙන් මිදී ඔරොත්තු දීමේ හැකියාව සහිත රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම පරිසර අමාත්‍යතුමා විසින් අවධාරණය කරන ලදි.
තරුණ පරපුර කෙරෙහි ආයෝජනය කිරීම සහ දකුණු ආසියානු රටවල් අතර සහයෝගීතාවය (SACEP) ශක්තිමත් කිරීම කලාපීය ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙනවා දුන්නේය.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනය උදෙසා ලබා ඇති ප්‍රගතිය පිළිබඳවත්, ශ්‍රී ලංකාව වැනි දේශගුණික බලපෑම්වලට ගොදුරු විය හැකි රටවල් වෙනුවෙන් දේශගුණික යුක්තිය ඉටුකිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා ක්‍රමවත් මූල්‍ය සහයෝගීතාවයක ඇති වැදගත්කම පිළිබඳවත් අමත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
ජාතික අයවැය ක්‍රියාවලිය තුළට දේශගුණික ප්‍රමුඛතාවන් (NDC) ඇතුළත් කිරීම සහ දේශගුණික මූල්‍ය පහසුකම් ලබා ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
පරිසර ක්‍රියාවලීන් සහ අධ්‍යාපනය සඳහා තරුණ සහභාගීත්වය ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පරිසර මණ්ඩලය (UNEA) වෙත ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳවද අමාත්‍යවරයා සිහිපත් කළේය.
මෙම සැසිය අතරවාරයේ දී පරිසර අමාත්‍යතුමා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය ද හමු වූ අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිරසාර සංවර්ධනයට අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා විය.
සමුළුවට සමගාමීව , අමාත්‍යතුමා ඉන්දියානු කර්මාන්ත සම්මේලනය (Confederation of Indian Industry – CII) සමඟ විශේෂ සාකච්ඡාවක ද නිරත වූ අතර ශ්‍රී ලංකාවේ කාර්මික අංශය තිරසාර ආර්ථිකයක් කරා යොමු කිරීම සඳහා අවශ්‍ය උපදේශන සහ තාක්ෂණික සහාය ලබා ගැනීමේ වැදගත්කම මෙහි දී සාකච්ඡා කෙරිණි.
නව නිපැයුම් සහ හරිත තාක්ෂණය ඔස්සේ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමේ දැක්ම අමාත්‍යවරයා මෙහිදී ඉදිරිපත් කර ඇත.
තිරසාර ආර්ථික වර්ධනය තවදුරටත් ශක්තිමත් කරමින් අමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්‍යක්ෂිකා සුජාතා ගුප්තා මිය හමුවී දැනට ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පරිසර ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ අනාගතයේදී ක්‍රියාත්මක කළ යුතු තිරසාර ආර්ථික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කර ඇත.
2026 ලෝක තිරසාර සංවර්ධන සමුළුවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කළ තිරසර යෝජනා සඳහා සාර්ථක පිළිතුරු ලැබේයැයි අපේක්ෂා කෙරේ.


