මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පල්ලෙගලදෙබොක්කා ග්‍රාමසේවා වසමේ නෙළුම්මල ගම්මානයේ කිලෝමීටර් 5කට අධික ප්‍රදේශයක් නාය යෑමෙන් මිය ගිය අය සිහිපත් කරමින් තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මයක් අද (27) පමුණුපුර, බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එම අවස්ථාවට සහභාගි විය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ මෙම නාය යාමෙන් නෙළුම්මල ගම්මානයේ පවුල් 13කට අයත් පුද්ගලයන් 31 දෙනෙකුගේ ජීවිත අහිමි විය.
ඔවුන් ඇතුළුව ආපදා තත්ත්වයෙන් මිය ගිය සියලු දෙනා සිහි කරමින් මහා සංඝරත්නය 70 නමක් විෂයයෙහි මෙම දානමය පුණ්‍යකර්මය සිදු කෙරුණු අතර ඊට සමගාමිව ඊයේ (26) පස්වරුවේ බෝධි පූජා පිංකමක් සහ පිරිත් දේශනයක්ද සංවිධානය කර තිබිණි.
අද (27) පැවති දානමය පුණ්‍යකර්මයට සහභාගි වූ ජනාධිපතිවරයා මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වීමටද එක් විය.
එමෙන්ම, ජනාධිපතිවරයා මිය ගිය අයගේ පවුල්වල ඥාතීන් සමඟ කෙටි කතාබහකද නිරත වූ අතර ඔවුන් වෙත සිය සංවේගය පළ කර සිටියේය.
සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.


