2026 පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (21) සිට ආරම්භ වෙයි

2026 පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (21) සිට ආරම්භ වෙයි
  • SocialShare:

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (21) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2026 පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි 5 වැනිදා සිට 9 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ අතර, ‘දිට්වා’ සුළි කුණාටුව සහ උසස් පෙළ විභාගයේ කල් දැමුණු විෂයන්ට අදාළ විභාග පැවැත්වීම හේතුවෙන් ජනවාරි 10 වැනිදා සිට ඊයේ දිනය දක්වා පාසල් සඳහා නැවත නිවාඩු ලබා දීමට සිදුවිය.

ඒ අනුව, අදින් ආරම්භ වන පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව අමාත්‍යංශය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙනුයේ, 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතුද අද සිට විධිමත් ලෙස ආරම්භ වන බවයි. 1 ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 5 වැනිදා ආරම්භ කර ඇති අතර, එහි විධිමත් අධ්‍යයන කටයුතු 2026 ජනවාරි 29 වැනිදා සිට ආරම්භ වේ.

තවද, 1 ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත්  අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර සිසුන්ට ලබා දීම අවසන් කර ඇති බවත්, අනෙකුත් සියලු ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළ පොත් බෙදා හැරීම මේ වන විට සම්පූර්ණ කර ඇති බවත් අමාත්‍යංශය පවසයි.

අදාළ කාලසටහනට අනුව පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.