2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මහතයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එසේම ශ්‍රී ලංකා රේගුවේ ඇස්තමේන්තුගත දත්තවලට අනුව මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සේවා අපනයනවල, මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,532.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය. තවද මෙම වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය පෙර වසරට සාපේක්ෂව 10.66% ක වර්ධනයක් වාර්තා කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,165.02 දක්වා ළඟා වී ඇති බවත් සේවා අපනයන ඉපැයීම් 24.59% කින් සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 367.55 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම 2026 ජනවාරි මාසයේදී වාර්තා වූ මෙම ආදායම වාර්ෂික අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ යහපත් ආරම්භයක් බව පවසන ඒ මහතා ජාත්‍යන්තර වෙළඳපල ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම, අඛණ්ඩ කාර්මික ධාරිතාව සහ උපායමාර්ගික අපනයන සංවර්ධන මුලපිරීම් මගින් රටේ අපනයන අංශයේ වර්ධනය වන තරඟකාරිත්වය මෙමගින් මනාව පැහැදිලි වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
තවද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, සහ ප්‍රවාහන හා සැපයුම් සේවා ඇතුළත් සේවා අංශය, රටේ අපනයන විවිධාංගීකරණය කිරීමට සහ දිවයින පුරා ඉහළ වටිනාකමකින් යුත් රැකියා අවස්ථා උත්පාදනය කිරීමට තවදුරටත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
නිසි ප්‍රතිපත්තිමය සහයෝගය සහ වෙළඳපල විවිධාංගීකරණ ප්‍රයත්නයන් සමඟින්, 2026 වසර පුරාම මෙම සාධනීය ප්‍රවණතාව පවත්වා ගැනීමට හැකිවන බවට ඒ මහතා විශ්වාසය පළ කළේය.
වසර 14 කට පසුව Expo 2026 ප්‍රදර්ශනය ජුනි මස 18 වැනි දින සිට 21 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ලෝකයේ හොඳම ගැනුම්කරුවන් මෙරටට ගෙන්වීමට බලාපරෛාත්තු වන බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා පැවසීය.මෙම ප්‍රදර්ශනය වසර දෙකකට වරක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළ ඒ මහතා ජූලි මාසයේදී විශාලතම ආයෝජන හමුව පැවැත්වීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
වසර 5ක් තුළ අපේක්ෂිත අපනයන ඉලක්ක සපුරා ගැනීමට විවධ වැඩසටහන් සංවිධානය කර ඇති බව පවසන සභාපතිවරයා ඇමරිකා එක්සත් ජනපදය තුළ තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට හැකිවීම මෙන්ම වෙළඳපොළ විවිධාංගීකරණය තුළින් ජපාන සමාගම්වලට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආරම්භ කිරීමට අවස්ථාව සැළසීමෙන් වාසි රැසක් ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.එම නිෂ්පාදනයන් ඉන්දියාව , අප්‍රිකාව , මැදපෙරදිග මෙන්ම යුරෝපය වෙළඳපොළට අපනයනය කිරීමටද හැකි වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


