ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව යම් අඩුවීමක් දක්නට ලැබුණද, ජනතාව තම නිවාස සහ අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මෙම වසරේ ජනවාරි 1 සිට ජූනි 30 දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 55,406 දෙනෙකු වාර්තා වී ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සඳහන් කළේය.
මාසිකව වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අනුව ජනවාරි මාසයේ 7,866ක්, පෙබරවාරි 5,721ක්, මාර්තු 6,013ක්, අප්‍රේල් 5,651ක්, මැයි 8,590ක් සහ ජූනි මාසයේ වැඩිම අගය වන 21,565ක් වාර්තා වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම කාලය තුළ වාර්තා වූ රෝගීන්ගෙන් 40%ක් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති අතර, සමස්ත රෝගීන්ගෙන් 52%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
නිරිතදිග මෝසම් වැසි සමඟ සෑම වසරකම ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යන බවත්, සෞඛ්‍ය අංශ සහ රජය එක්ව පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු ව්‍යාප්තියේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවද ඔහු පැවසීය.
දැනට දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 650–700 දක්වා අඩුවී ඇති අතර, මීට පෙර එය දිනකට 1,000 ඉක්මවා වාර්තා වූ බවද ඔහු පෙන්වා දුන්නේය.
ඊයේ (30) වන විට ඩෙංගු මරණ 32ක් වාර්තා වී ඇති අතර, රෝග පාලනය සඳහා සෞඛ්‍ය අංශ අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


