යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය වසරේ යල කන්නයේ මිලදී ගත් වී තොග තවමත් ප්රමාණවත් පරිදි වෙළෙඳපොළට යොමු නොවීම ගැටලුවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගබඩා නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෙන ඇති පියවර සහ ඒ සඳහා වන යෝජනා පිළිබඳවද විමසා සිටියේය.
එමෙන්ම මෙම යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්ය ප්රතිපාදන වෙන් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මුදල් අමාත්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දිස්ත්රික් මට්ටමින් පවතින ගබඩාවල තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර
ගබඩාවල තත්ත්වය සහ ආරක්ෂිත තොග පිළිබඳව නිවැරදි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම මගින් ඉදිරියේදී මතුවිය හැකි මෙවැනි ගැටලු මගහරවා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්ය පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
විශේෂයෙන්ම ඇති විය හැකි දේශගුණික තත්ත්වයන් මත ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්යවශ්ය බවත්, එය සාමාන්ය ක්රියාවලිය තුළ නොව, විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යාංශයේ ලේකම් ඩී.පී. වික්රමසිංහ, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යු. පින්නලන්ද, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ඩබ්.ඒ.ආර්.ටී. වික්රමආරච්චි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්යක්ෂ ඒ.එල්.සන්ධික, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


