ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්
  • SocialShare:

හරිත හයිඩ්‍රජන් ක්ෂේත්‍රය සඳහා ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිසත්, ඒ සම්බන්ධයෙන් වන මාර්ග සිතියම, කාර්ය ප්‍රවාහය සහ රෙගුලාසි සකස් කිරීම පිණිසත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

2025-08-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දුන් අනුමැතිය පරිදි මහජනතාවගේ, අදාළ අනෙකුත් පාර්ශවයන්ගේ හා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අදහස් හා ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින්, හරිත හයිඩ්‍රජන් ක්ෂේත්‍රය සඳහා ප්‍රතිපත්ති රාමු කෙටුම්පතක් සකස් කර ඇත.

දේශීය විදුලි අවශ්‍යතාව ඉක්මවා යාමට සමත්, ගිගාවොට් 56ක් ඉක්මවූ සුවිසල් අක්වෙරළ සුළං විභවයක් ශ්‍රී ලංකාව සතුව පවතින බව තක්සේරු කර ඇත. එම අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය හරිත හයිඩ්‍රජන් නිපදවීම සඳහා යොදා ගැනීමට හැකියාව පවතින අතර, භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීමේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනයේ ව්‍යාපෘති දියත් කර ගෝලීය අපනයන මාර්ග වෙත ප්‍රවේශ වීමේ විභවයක් ද ශ්‍රී ලංකාව සතුව පවතී.

පුනර්ජනනීය බලශක්තියෙන් බලගැන්වෙන ජල විද්‍යුත් විච්ඡේදනය හරහා නිෂ්පාදනය කරනු ලබන හරිත හයිඩ්‍රජන්, නාවික, ගුවන් සේවා සහ බර කර්මාන්ත කාබන්හරණය කෙරෙන 'අනාගතයේ ඉන්ධනය' වශයෙන් මේ වන විට ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත.