මධ්‍යම කඳුකරයේ පරිසර ආරක්ෂාවට නව අධිකාරියක්

මධ්‍යම කඳුකරයේ  පරිසර ආරක්ෂාවට නව අධිකාරියක්
  • SocialShare:

ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුව ඉදිරි පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.


'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් මිනිස් ජීවිත, දේපොළ, යටිතල පහසුකම් මෙන්ම කෘෂිකර්මාන්තයට විශාල හානි සිදු වූ අතර, කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ තද සුළං හේතුවෙන් මධ්‍යම කඳුකරයේ සංවේදී ස්වභාවික වනාන්තර ප්‍රදේශ වලින් 34%ක් විනාශ වී ඇති බව වාර්තා වී තිබේ. එම විනාශය ප්‍රධාන ගංඟා ද්‍රෝණි 07ක පරිසර පද්ධතිවලට දැඩි ලෙස බලපා තිබේ. ඒ හේතුවෙන් එම කලාපවල පාංශු ඛාදනය හා ස්වභාවික ජල මූලාශ්‍ර සිඳීයාමේ බරපතල අවදානමක් පවතින බව හඳුනා ගනු ලැබ ඇත.

දශක ගණනාවක අක්‍රමවත් ඉඩම් භාවිතය හේතුවෙන් උග්‍ර වී ඇති එකී තත්ත්වය සමනය කිරීමේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා වෙන් වූ අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. අහිතකර දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරන අතරම තිරසර සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන අයුරින් එම ප්‍රදේශ සඳහා දිගු කාලීන ආරක්ෂණ වැඩසටහනක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම එකී අධිකාරියේ අරමුණ වේ.

ඒ අනුව, අදියර තුනක ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් යටතේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරියේ ආයතනික ව්‍යුහය සහ ක්‍රියාකාරී විෂය පථයන් විධිමත්ව හඳුනා ගැනීම පිණිස තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීමටත්, ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීමට අනුමැතිය හිමි වී තිබේ.