අද සිට මදුරු මර්දනයට විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කෙරේ

අද සිට මදුරු මර්දනයට විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කෙරේ
  • SocialShare:

අද සිට දිවයින පුරා දින 03 ක විශේෂ මදුරු මර්දන ජාතික වැඩසටහනක්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම මදුරු මර්දන විශේෂ වැඩසටහන අද (08), හෙට (09) සහ අනිද්දා (10 ) යන දිනයන්වල පැවැත්වීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පසගියදා (05) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කියා සිටියේ ඩෙංගු රෝගී තත්ත්වය මෙම වසර පුරා වර්ධනයක් පෙන්නුම් කරමින් 2025 වසර සමග සංසන්දනය කිරීමේ දි අද වනවිට රෝගින් 10,000 ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

පසුගිය ස්වභාවික ව්‍යසනය  සමග කසළ තත්ත්වය සහ වර්ෂාවේ වැඩිවීම ද මීට හේතු වූ බව ද පැවැසීය. ඒබැවින් මේ පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා  2026 ජනවාරි සිට මේ වනවිට රෝගීන් 35,300 ක් පමණ වාර්තා වූ බවත්, එම රෝගීන්ගෙන් 50% ක් වශයෙන් වැඩිපුරම බස්නාහිර පළාතෙන් වාර්තා වූ බව ද පෙන්වා දෙන ලදි. එය කොළඹ දිස්ත්‍රික්කයෙන් සියයට 22 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් සියයට 17 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් සියයට 6 ක්, නගර සභා සීමාවේ සියයට 5.1 ක් ලෙස වාර්තා වි ඇති බවද පැවැසිය.

ඒ අනුව දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 74ක මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමට අපේක්ෂිතය. එමෙන්ම මෙහිදී ඩෙංගු බෝවීමේ අධි අවදානමක් පවතින ප්‍රදේශවලට වැඩි අවදානයක් යොමු කරන අතර මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.